20-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩු ම පන්දු සංඛ්‍යාවකදී අර්ධ ශතකයක් වාර්තා කරන ලද පිතිකරුවාගේ වාර්තාව සමග දසුන් ශානක දක්වන ලද තුන් ඉරියව්වේ දක්ෂතාව හේතුවෙන් තරග 3කින් සමන්විත20-20 තරගාවලියේ දෙවන තරගයෙන් ප්‍රබල ඉන්දියාව පරදවා ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (ජන. 5) හැකියාව ලැබිණි.
පුනේහි පැවති මෙම තරගයේ ලද ජයත් සමග තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත් කර ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 206 ක් ලබා අසීරු ඉලක්කයක් ඉන්දියාව හමුවේ ලබා දුන් නමුත්, සත්කාරකයින් වූ නමුත්, සංචාරක පන්දු යවන්නන්ගේ බල පරාක්‍රමය හමුවේ නියමිත පන්දුවාර 20 අවසනදී ඔවුනට රැස් කරගත හැකි වූයේ කඩුලු 8කට ලකුණු 190ක් පමණි.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව වාර්තා කිරීමත් සමග ඉන්දීය කණ්ඩායමක් ඔවුන්ගේ නිජ බිමේදී ශ්‍රී ලංකාව විසින් පරාජයට පත් කරන ලද්දේ වසර 7කට පසුව වීම කැපී පෙනෙයි.
පන්දුවෙන් දක්වන ලද දක්ෂතාවයට අමරතව පිත්ත ද අතට ගත් අක්සාර් පටෙල්, පන්දු 31කදී වේගවත් ලකුණු 65ක් ලබා ගනිමින් සූර්යකුමාර් යාදව් සමග හය වන කඩුල්ලට පන්දු 40කදී වේගවත් ලකුණු 91ක සම්බන්ධතාවක් පැවැත්වුව ද ඊට වඩා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ උපක්‍රමශීලී වූහ.
මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 57ක්ව තිබියදී පිටියට එක්කාසු වන වමත් – දකුණත් පිතිකරු යුගලය කඩා වැටුණු ඉන්දීය ඉනිම ගොඩ ගන්නා ලද්දේ ලකුණු 74ක්ම හයේ පහර (9) සහ හතරේ පහර (5) එල්ල කරමිනි.
පිටිය සිසාරා එල්ල කරන ලද පහරින් එකක් වැරදී යෑමෙන් යාදව්ගේ ඉනිම නිමාවට පත් වූයේ මදුශංකගේ පන්දුවක් හමුවේය.
ඒ වනවිටත් පන්දු 36 කට මුහුණ දී සිටි යාදව් ලබා සිටි ලකුණු 51 සඳහා හයේ පහර 3 ක් සහ හතරේ පහර 3ක් එල්ල කර තිබුණි. එහෙත් සටන අත්නොහළ අක්සාර් පටෙල් සහ ශිවම් මාවි යළිත් පන්දු 22කදී ලකුණු 41ක් රැස් කිරීමට සමත්වීම නිසා අවසන් පන්දුවාරයේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 21ක් තරම් අවම මට්ටමකට රැගෙන ඒමට ඉන්දියානුවන්ට හැකිවිය.
එහිදී පන්දුව අතට ගත් නායක දසුන් ශානක තෙවැනි පන්දුවේදී පටෙල්ව ද අවසන් පන්දුවේදී ශිවාම් මාවි (26) දවා ගනිමින් එම පන්දු වාරය නිමා කළේ ලකුණු 04ක් පමණක් ලබා දෙමිනි.
මේ සියල්ලට ම පෙර තරගයේ දෙවැනි පන්දුවාරයේදී ම ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා කසුන් රාජිත වැඩි මෙහෙවරක් ඉටු කරන ලද්දේ එම පන්දුවාරය ඇතුළත ඉෂාන් කිෂාන් සහ ශුබ්මන් ගිල්ගේ කඩුලු දවා ගනිමිනි. එතැන් පටන් ග්‍රහණය තර කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉන්දීය පිලේ පළමු කඩුලු 5 ම ඉගුල්ලා දමන ලද්දේ පන්දුවාර 10ක් අවසන් වීමට මත්තෙනි.
දෙවැනියට පන්දු යැවීම අසීරු පුනේ තනතීරුවේදී සත්කාරක නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා හැර සෙසු සියල්ලෝ ම පිත්තෙන් තම උපරිමය ලබා දුන්හ. ඒ අතරින් නායක දසුන් ශානක සහ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙනුණි.
දසුන් ඊයේ දිනයේදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන ලද්දේ මුහුණ දුන් 20 වන පන්දුවේදී ය. ශිවාම් මාවගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් දසුන් සිය අර්ධ ශතකය සම්පූර්න කරන ලද්දේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරගයකදී අඩු ම පන්දු සංඛ්‍යාවකින් අර්ධ ශතකයක් වාර්තා කරන ලද පිතිකරුවාගේ වාර්තාව සියතට ගනිමිනි. මීට පෙර මෙම දක්ෂතාව දැක්වීමට සමත්ව තිබුණේ මහේල ජයවර්ධන (2007දී කෙන්යාවට එරෙහිව) සහ කුමාර් සංගක්කාර (2009දී ඉන්දියාවට එරෙහිව) ය. ඔවුන් දෙපළ මෙම දස්කම දක්වා තිබුණේ මුහුණ දුන් 21 වන පන්දුවේදී ය.
මේ අතර, දසුන්ගේ ඉනිම ඉන්දියාවට එරෙහිව පිතිකරුවෙකු ලබාගන්නා ලද දෙවන වේගවත් ම අර්ධ ශතකය ලෙසින් ද අද වාර්තා පොත් අතරට එක් විය. මීට පෙර ඉන්දියාවට එරෙහිව අඩු ම පන්දු සංඛ්‍යාවකින් (පන්දු 19කින්) අර්ධ ශතකයක් රැස්කරගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු පිලේ කැමරන් ග්‍රීන් පමණි.
අවසන් පන්දුවත් තර්ඩ් මෑන් කළාපයෙන් හයේ පහරක් බවට පරිවර්තනය කර ගන්නා විටත් දසුන් පන්දු 22කදී ලකුණු 56 ක් රැස් කරගෙන සිටියේ ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 2කින් සරසා ගනිමිනි.
දසුන්ගේ රංගනය නිසා අවසන් පන්දු 30දී ශ්‍රී ලංකා පිලට ලකුණු 77ක් ලබා ගැනීමට හැකියාව ලැබිණ. අවසානය පරිද්දෙන් ම ආරම්භය ද සාර්ථක කර දුන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පළමු පන්දුවාර 4දී ලකුණු 47ක් රැස් කර දුන්නේ ඉන්දීය වේග පන්දු යවන්නන් සිය උපරිම දෝලනය සහිතව පන්දු යොමු කරන අතර වාරයේදී ය.
අක්සාර් පටෙල් සහ යුස්වේන්ද්‍ර චෙහල් පැමිණීමත් සමග එම ලකුණු ගලා ඒමේ වේගය එක වර ම අඩුවනු දක්නට ලැබිණි. මොවුන් දෙදෙනා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දු 48දී ප්‍රතිවාදී පිතිකරුවන් ලබා ගැනීමට සමත්වූයේ ලකුණු 54 ක් පමණි. ඒ අතරතුර ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3 ක් ද මොවුහු දවා ගත්හ.
දඟ පන්දු යවන්නන් හමුවේ අසීරුතාවකට මුහුණ දුන්න ද වේග පන්දු යවන්නන් තඹේකට මායිම් නොකළ ශ්‍රී ලංකා පිතිකරුයින් ලකුණු සොයා ගියේ ඔරලෝසුවේ තප්පර කටුව කැරකෙනවාටත් වඩා වැඩි වේගයකින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි.
මෙහිදී ඉන්දීය වේග පන්දු යවන්නන් විසින් ලබා දෙන ලද නිපන්දු 7 ද ශ්‍රී ලංකා පිලේ වාසියට නොසිටියා ම නොවේ.
ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩක් ක්‍රියාත්මක කරන ලද්දේ අර්ශ්දීප් සිං, උමර්න් මලික් සහ ශිවාම් මාවි වන අතර ඔවුන්ගේ පන්දු වාර 10දී ලකුණු 138ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්වීම කැපී පෙනිණි. අනෙක් පන්දු යවන්නන් විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10දී ලබා දී තිබුණේ ලකුණු 68ක් පමණි. දසුන්ට පෙර අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් පන්දු 31කදී ලකුණු 52ක් ද පැතුම් නිස්සංක පන්දු 35කදී ලකුණු 35ක් ද ලබා පළමු කඩුල්ලට ලකුණු 80ක් එක් කර දුන්හ.
Sri Lanka Cricket
No comments:
Post a Comment