අද කවුරු දිනුවත් පාපන්දුව පරාදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 28, 2023

අද කවුරු දිනුවත් පාපන්දුව පරාදයි

අද (29) පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් කවුරුන් ජය ගත්තද පාපන්දුව පරදින බව ස්ථිර බව බොහෝ මැදහත් පාපන්දු ලෝලීන්ගේ හා ක්‍රීඩකයන්ගේ මතය වී තිබේ.

ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩාවේ පරිපාලනයෙන් දූෂිතයන් එළවා දමන බවට කොතරම් පාරම් බෑවද හිටපු සභාපති ජස්වර් වැනි පරීක්ෂණයකින් වරදකරුවකු වූ අයකු නැවත වරක් බලයට ගෙනඒමට යටින් උදව් කරන බවට මොවුහු චෝදනා කරති.

පසුගිය නිලවරණයේදී ඔහු පාපන්දුව ගැන මෙලෝ දෙයක් නොදන්නා හිටපු දේශපාලනඥයකු වන ශ්‍රී රංගාට ජය ගැනීම සඳහා උදව් කළ බව ප්‍රසිද්ධ රහසක් බව කියන මොවුන් පවසන්නේ ජස්වර් බලයට පත් වුවත් තමන් එක්වී ඔහුගේ පත්වීමට එරෙහිව අධිකරණයට යන බවයි.

ෆීෆා මගින් ලැබෙන ඩොලර් අමු අමුවේ පිල්ලි ගැසූ අයකු බවට ද ජස්වර්ට චෝදනා කරන මොවුන් ක්‍රිකට් වල එක් සංචාරයකට පමණක් වෝහාරික විගණනයක් කැඳවූ ක්‍රීඩා අමාත්‍යවරයා පාපන්දුවට වෝහාරික විගණනයක් කළේ නම් කෝටි ගණනක ගසා කෑම් හෙළිදරව් කර ගත හැකි බවත් පවසයි.

මීට පෙර ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා දූෂණ සෙවීමේ පොලිස් ඒකකය මගින් ජස්වර් ගැන කරන ලද පරීක්ෂණයකදී ජස්වර් වරදකරුවකු කර නැවත පරිපාලනයට ඒමට නොහැකි බව කියා ඇතත් මෙවර, නිලවරණයට තරග වැදීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජස්වර්ට අවසර ලබා දී ඇත.

මේ වන විට ෆීෆා ලෝක ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකා පාපන්දුව සිටින්නේ රටවල් 211කින් 207 වැනි ස්ථානයේය.

කාන්තා කණ්ඩායම සිටින්නේ 153 වැනි ස්ථානයේය.

මීට කලින් සභාපති හා ලේකම් ලෙස ජස්වර් වසර ගණනක් සිටිය නමුත් ලංකාවේ පාපන්දුව කොතරම් ෆීෆා ඩොලර් ආධාර ලබා තිබුණද ලංකාවේ පාපන්දුව මෙතරම් පහළ මට්ටමක තිබීම ඔහු පාපන්දුව වෙනුවෙන් කර ඇති කැපවීමට කදිම උදාහරණයක් බවද ඔවුහු කියති.


No comments:

Post a Comment

Post Bottom Ad