"නිසි ගෞරවාචාරය දෙන්නේ නැත්තම් මම නිදහස් උත්සවයට එන්නේ නෑ" - ෆොන්සේකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

"නිසි ගෞරවාචාරය දෙන්නේ නැත්තම් මම නිදහස් උත්සවයට එන්නේ නෑ" - ෆොන්සේකා

ජාතික නිදහස් දින උත්සවයට හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවනු ඇතැයි වාර්තා වෙයි.

නිදහස් දින උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා කරමින් ෆොන්සේකා මහතාට ආරාධනා පත්‍රයක් ඊයේ වනතුරුද ලැබී නොතිබිණි.

මේ සම්බන්ධයෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාගේ තනතුරට අදාළ නිසි ගෞරවාචාර නොලැබෙන්නේ නම් නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවයි.

ෆීල්ඞ් මාර්ෂල් නිලය දරන්නකුට ඊට අවශ්‍ය ගෞරවාචාර දැක්වීමට සියලු දෙනා බැඳී සිටින බව කී ෆොන්සේකා මහතා ලෝකය පුරාම ක්‍රියාත්මක වන්නේ ඒ තත්ත්වය බව ද සඳහන් කළේය.

නිදහස් දින උත්සවයේ පෙරහුරුවක් කොළඹ ගාලුමුවදොර පිටියේදී ඊයේ (31) පෙරවරුවේ පැවැත්වුණු අතර නිදහස් උත්සවයේදී පිළිගැනීමට ලක්වන ප්‍රමුඛතා ධුරාවලිය එහිදී ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේදී සරත් ෆොන්සේකා මහතාගේ නම සඳහන් නොවුණු බව ඒ පෙරහුරුවට සහභාගිවූ පිරිසක් පැවසූහ.

මේ සම්බන්ධයෙන් අප අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා ගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ ඒ පිළිබඳව දැන්ම තමාට යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad