සිංගප්පූරු ගිවිසුමේ අවුල් හොයන්න කමිටුවක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

සිංගප්පූරු ගිවිසුමේ අවුල් හොයන්න කමිටුවක්

නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබුණේ පසුගිය වසරේදීය

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ සංශෝධනය කළ යුතු ක්ෂේත්‍ර මොනවාදැයි හඳුනාගැනීම සඳහා ආණ්ඩුව කමිටුවක් පත් කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඇතුළත් ඇතැම් කරුණු සංශෝධනය කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිංගප්පූරු සංචාරය අතර-තුරදී එරට අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුන්ග් හමුවෙමින් පැවැසීය.

ඒ අනුව අදාළ කමිටුව පත් කරන බවත් එම කමිටුව සංශෝධනය විය යුතු ක්ෂේත්‍ර මොනවාදැයි අධ්‍යයනය කරනු ඇති බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කීය.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව ද හෙතෙම කීය. 

ඉහත කී නව කමිටුවේ සොයාගැනීම් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තිබෙන ඒකාබද්ධ කමිටුවට යොමු කරන බවත් ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා කීවේය. 

දෙරටේ අන්‍යෝන්‍ය එකඟතාව ඇතිව ගිවිසුමේ අන්තර්ගත කොටස් වෙනස් කිරීමේ හැකියාවක් තිබෙන බව ද අමාත්‍යවරයා කීය.

අප්‍රේල් මාසය වනවිට සංශෝධන කළ හැකි බව ද හෙතෙම පැවැසීය. 

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබුණේ පසුගිය වසරේදීය.

No comments:

Post a Comment

Post Bottom Ad