මාරක රිය අනතුරු දඩ මිල ඉහළ දානවා- ඇමැති අර්ජුන රණතුංග - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 27, 2019

මාරක රිය අනතුරු දඩ මිල ඉහළ දානවා- ඇමැති අර්ජුන රණතුංග

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක්කරන සහ ජීවිත බිලි ගන්නා රියැදුරන්ට එරෙහිව පනවන දඩය විශාල ලෙස ඉහළ දමන බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

දඩ පැනවීමට අමතරව බරපතළ වැරදි කරන රියදුරන්ගේ රියදුරු බලපත‍්‍රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

හඳුනානොගත් වාහනවලින් අනතුරට ලක් වූවන් සඳහා වන්දි මුදල් ප‍්‍රදානය කිරීමේ උත්සවය 23දා
ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවති අතර එහිදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති අර්ජුන රණතුංග මහතා මෙසේද කීවේය.

 ''යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට වඩා විශාල පිරිසක් අද වන විට වාර්ෂිකව රිය අනතුරුවලින් මිය යනවා. රියදුරන් හැටියට අපි මීට වඩා පරීක්ෂාවෙන් රිය පදවන්න ඕන. එසේ නොමැතිව මහ මඟ ජීවිත බිලි ගනිමින් විනය විරෝධීව රිය පදවන රියදුරන්ට එරෙහිව අපි ඉදිරියේදී දැඩි ලෙස නීතිය ක‍්‍රියාත්මක කරනවා. මේ සියල්ල සඳහා අවශ්‍ය ක‍්‍රියා මාර්ග ඉදිරි සති කිහිපයේදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ තීරණ ජනප‍්‍රියම නොවෙන්න පුළුවන්. නමුත් ඒ තීරණ කිසිම අවස්ථාවක විනයගරුක රියදුරන්ට ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩි කරන දඩ හෝ රියදුරු බලපත‍්‍රය අහෝසි කිරීම වැනි දේවල්වලින් ප‍්‍රශ්න ඇති වෙන්නේ විනය විරෝධීව රිය පදවන රියදුරන්ට විතරයි. දැන් බලන්න දියුණු රටවල් කරන වැරදි අනුව මාස හයකට හෝ අවුරුද්දකට ලෙස රියදුරු බලපත‍්‍රය අහෝසි කරනවා. නමුත් එවැනි ක‍්‍රමවේදයක් අපේ රටේ නැහැ. මම අපේක්ෂා කරන්නේ ඉදිරි මාස කිහිපය තුළදී එවැනි ක‍්‍රමවේදයක් අපේ රටටත් හඳුන්වා දෙන්න.''


-සුජීව තත්සර-




No comments:

Post a Comment

Post Bottom Ad