"ව්‍යවස්ථාදායක සභාවට අත උස්සපු අයම දැන් විවේචනය කරනවා" - නවීන් දිසානායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 23, 2019

"ව්‍යවස්ථාදායක සභාවට අත උස්සපු අයම දැන් විවේචනය කරනවා" - නවීන් දිසානායක

ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමට අදාල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සියලු දෙනාම පක්ෂව ඡන්දය දුන් බවත්, එහි එක් එක් වගන්ති වෙනුවෙන් අත ඔසවා එකඟතාවය පළකළ ඇතැම් මන්ත්‍රීවරුන් අද ව්‍යවස්ථාදායක සභාවට එරෙහි වී ඇති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වීම නිසා මෙම පුද්ගලයන් රටේ ව්‍යවස්ථාව විවේචනය කරන බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
නවීන් දිසානායක මහතා මෙම අදහස් පළ කළේ කළුතරදී පැවති 'වැවිලි සවිය' ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. මෙම ක්‍රීඩා උළෙල කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් සංවිධානය කර තිබිණි.
 
රාජපක්ෂලාට සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පරිදි අධිකරණ විනිශ්චයකාරවරුන් පත්කර ගැනීමට නොහැකි වී ඇති නිසා ව්‍යවස්ථාදායක සභාව දේශපාලනීකරණය වී ඇති බව කියමින් එය විවේචනය කරන බව පෙන්වා දෙන ඇමතිවරයා විමසා සිටින්නේ, සියලු පක්ෂවල එකඟතාවයෙන් පිහිටුවා ඇති ව්‍යවස්ථාදායක සභාවේ පත් කිරීම් දේශපාලනික නම් එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය ලෙස රජයේ ඉහළ තනතුරු පත් කිරිම් නිර්දේශපාලනික වන්නේද යනුවෙනි.
 
ව්‍යවස්ථාදායක සභාව විසින් පත් කරන්නේ ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන පුද්ගලයන් මිස ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ට අවශ්‍ය පුද්ගලයන් නොවන බව පෙන්වා දෙන නවීන දිසානායක මහතා වැඩිදුරටත් පවසන්නේ, අදාල පුද්ගලයන් එම තනතුරුවලට නුසුදුසු නම් එහි වගකීම ගතයුත්තේ හා ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය යුත්තේ ජනාධිපතිවරයාට මිස, ජනාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාදායක සභාවට නොවන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad