ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති අද රෑ සිට හදිසි නීතිය යටතට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 22, 2019

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති අද රෑ සිට හදිසි නීතිය යටතට

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති අද රෑ සිට හදිසි නීතිය යටතට

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ. 

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ත්‍රීවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇත.

මේ අතර හෙට (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද රජය තීරණය කර තිබේ.

ඊයේ සිදු කළ ත්‍රස්ත ක්‍රියාවට අදාළ සංවිධාන, ඊට අදාළව අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් සහ අනුබල දුන් තවත් බලවේග ඇත්නම් එකී සියලූ විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර  ඒ පිළිබඳ ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින සියලූ විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන අතර, එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටිනු ඇත.

දේශීය ත්‍රස්තවාදීන්ගේ මෙම සිදුවීම් පසුපස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධි අංශ වාර්තාකර ඇති බැවින් ඔවුන් මර්දනය කිරීම සඳහා මෙලෙස ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට නියමිතය.

මේ අතර කතෝලික දේවස්ථාන සහ ආරක්ෂාව අවශ්‍ය සියලූ ස්ථානවලට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන්නැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. 

රට තුළ ඇතිව තිඛෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ඉදිරි ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

මේ අතර අද රාත්‍රී 8.00 සිට හෙට අලූයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ද රජය තීරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad