සිංහල හා දෙමළ මවුවරුන්ගේ සිසේරියන් ඉවර වෙන්න කලින් ෂාෆි සහය කාර්ය මණ්ඩල ඉවත් කළ බව ඇතැම් සාක්‍ෂිවලින් කියවුණා - සී.අයි.ඞී.ය අධිකරණයට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 28, 2019

සිංහල හා දෙමළ මවුවරුන්ගේ සිසේරියන් ඉවර වෙන්න කලින් ෂාෆි සහය කාර්ය මණ්ඩල ඉවත් කළ බව ඇතැම් සාක්‍ෂිවලින් කියවුණා - සී.අයි.ඞී.ය අධිකරණයට කියයි

Loading...


වඳ සැත්කම් සිද්ධිය ගැන හෙළි කිරීමෙන් ‘දිවයින’ පත්තරේ කරලා තිබෙන්නේ ජනතාව කුපිත කිරීමක් නොවෙයි. මාධ්‍ය ආයතනයක් ලෙස ඔවුන් වෙත පැවරුන වගකීම ඉටුකිරීමක් පමණයි යැයි නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු මහතා ඊයේ (27 දා) කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.

 සැකකාර ෂාෆි වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් කරගත් මවුවරුන් පත්තරේ එම තොරතුරු වාර්තා කරනතුරු දැනගෙන සිටියේ නෑ තමන්ට එහෙම අපරාධයක් සිදුවී ඇති දැයි කියලා. පත්තරේ පළවුණාට පසුව තමයි ඔවුන් කලබල වෙලා ඒ ගැන සොයන්න ගත්තේ යැයිද නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු මහතා එහිදී ප‍්‍රකාශ කළේය.

 මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු වඳ සැත්කම් කළ බවට පසුගිය මැයි 23 වැනිදා ‘දිවයින’ පුවත්පත ප‍්‍රධාන ශීර්ෂ පාඨය මගින් පළකළ පුවත නිසි සොයා බැලීමකින් තොරව කටකතාවක් අනුව පළකර ඇති පුවතක් බවත් ආරක්‍ෂක අංශ මැදිහත් නොවුණේ නම් එමගින් රට තුළ අහිතකර වාතාවරණයක් ඇතිවීමට ඉඩ තිබූ බවත් පවසමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු මහතා එලෙස ප‍්‍රකාශ කළේය.

 එම නඩුව කුරුණෑගල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සම්පත් කාරියවසම් මහතා ඉදිරියේදී ඊයේ (27 දා) කැඳවිණි. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

 මෙම සිද්ධිය ගැන ‘දිවයින’ පත්තරේ පළවූ දවසේම වැඩබලන පොලිස්පතිවරයා විසින් කරන ලද නියෝගයක් අනුවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ. එම වෛද්‍යවරයාගෙන් සැත්කම් කරගත් මවුවරුන් කලබල වී පැමිණිලි කරන්න පටන් ගත්තා. ඒ නිසා කුරුණෑගල පොලිසිය ඔබතුමාගේ ගරු අධිකරණයට කරුණු වාර්තා කර කුරුණෑගල පොලිසිය විසින් සැකකාර වෛද්‍යවරයාව අත්අඩංගුවට ගත්තේ. එම සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් මුදල් ලබාගෙන දේපළ මිලදී අරගෙන එම සංවිධානයේ අරමුණු ඉටු කිරීම සඳහා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී තිබූ නිසා අත්අඩංගුවට ගත් ඔහු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයාගෙන් දින 90 රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන කළා.

 එම සැකකරු රුපියල් කෝටි ගණන් වටිනා දේපළ මිලදී ගෙන සමහර කාන්තාවන්ට ඔහුගේ අකැමැත්ත මත සිසේරියන් සැත්කම කිරීම ගැන පැමිණිලි ලැබුණ නිසා ඔහුගේ බැංකු ගිණුම් වාර්තා ලබාගැනීමට හා විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග පොලිසිය ලබාගෙන තිබුණා. එම වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධ යැයි කියවුණ සැකකාර වෛද්‍යවරයා සතු දේපළවලට යම්කිසි පිරිසක් හානි සිදුකළහොත් මුස්ලිම්, දෙමළ අරගලයක් සිදුවිය හැකි බවට කරුණු වාර්තා වී තිබුණා. ත‍්‍රස්තවාදී කණ්ඩායමකට මුදල් ලබාදී ඔවුන්ගේ අරමුණු ඉටුකිරීම, 

 ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම හා පලාගොස් සැගවී සිටීමට ඇති ප‍්‍රවණතාව යන කරුණු නිසා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔහු උපයන මුදලට වඩා මුදලක් රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ඔහුට ලැබී තිබුණ බවටත් තොරතුරු ලැබී තිබුණා. විමර්ශන නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ සරත් වීරකුමාර මහතාගෙනුත් ප‍්‍රකාශ සටහන් කළා. එම වෛද්‍යවරයා කුරුණෑගල හා අවට ප‍්‍රදේශයකින් දේපළ රුපියල් කෝටි ගාණක් වැයකර මිලදී ගෙන තිබුණ බවට බුද්ධි නිලධාරීන් හෙළිකර තිබුණා. ඔහු රුපියල් පන් කෝටි තිස් ලක්‍ෂයකට අධික මුදලක් නිවාස, ගෙවල්, වතුපිටි මිලදී ගන්න වැයකර තිබුණා. ඔහුගේ මාසික ආදායම මසකට රුපියල් දහනම ලක්‍ෂ තිස්තුන් දහසකට අධික බවයි අනාවරණය වී තිබෙන්නේ.

 කෙසේ නමුත් පොලිසිය ඇතුළු බුද්ධි අංශවලින් ලබාගත් තොරතුරු අනුව ඔහු ත‍්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට අනාවරණය වී නෑ. ඒ නිසා මේ වන විට රැඳවුම් නියෝග මත සිටින ඔහු මුදාහැරීම සඳහා රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා.

 එම වෛද්‍යවරයා වේගයෙන් සිසේරියන් සැත්කම් කරන අයකු බවත් විනාඩි 10 - 15 ක් ඇතුළත ඔහුට එම සැත්කමක් කළ හැකි අයෙකු බවත් කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ලබාගත් සාක්‍ෂි අනුව අනාවරණය වුණා. ඔහු එම සැත්කම් කිරීමේදී පැලෝපීය නාළවලට හානි කළ බවට හා ගර්භනී මවුවරුන්ගේ අවයව ශල්‍ය උපකරණ මගින් අකර්මණ්‍යතාවට පත්කරන බවට කට කතාවක් පැතිර යෑම නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසට දැනුම් දීමක් කර ඇති බවත් සමහර සාක්‍ෂිකරුවන්ගෙන් ලබාගත් ප‍්‍රකාශ අනුව හෙළිවී තිබුණා.

 වෛද්‍ය වෘත්තියට කැළලක් නොවන ලෙසට කටයුතු කරන්නැයි හා වේගයෙන් සිසේරියන් සැත්කම් නොකරන්නැයි ඔහුගේ වෛද්‍ය ප‍්‍රධානීන් අවවාද කර තිබුණ බවත් හෙළිවුණා. එම වෛද්‍යවරයා සිංහල හා දෙමළ කාන්තාවන්ගේ සිසේරියන් සැත්කම් කිරීම සඳහා පෙළඹවීමක් කර ඇති බව මෙන්ම සිය කැමැත්තෙන් එකී සැත්කම කිරීමට ඉදිරිපත් වන මුස්ලිම් ජාතික මවුවරුන් ඉන් වැළැක්වීමට ඔහු පියවර ගත් බවත් සාක්‍ෂි අනුව හෙළිවී තිබෙනවා. 

 සිංහල හා දෙමළ කාන්තාවන්ට සිසේරියන් සැත්කම් කරන විට ඔහු ඒ්වා අවසන් වීමට පෙර තම සහාය කාර්ය මණ්ඩල ඒ අසලින් ඉවත් කිරීමට සමහර අවස්ථාවලදී පියවර ගෙන ඇති බවත් අන් අයට වඩා වැඩි වෙලාවක් ගෙන මුස්ලිම් මවුවරුන්ගේ සැත්කම් කරන බවට සමහර සාක්‍ෂිකරුවන් ලබාදුන් සාක්‍ෂි අනුව හෙළිවී තිබුණා.

 මුස්ලිම් කාන්තාවන්ට සිසේරියන් සැත්කම් කර බිලිඳුන් පිටතට ගත් පසු ඔහු සිය භාෂාවෙන් දෙවියන්ට ස්තුති කරන බවටත් සාක්‍ෂි හෙළිවී තිබුණා.

 එවැනි ක‍්‍රියා වෘත්තියට නොගැළපෙන බව ප‍්‍රකාශ කළ එක්තරා වෛද්‍යවරියක් සමග ඔහු ආලින්දයේදී උණුසුම් කතාබහක් ඇතිවී ‘මට සල්ලි තිබෙනවා. දේශපාලන බලය තියෙනවා, මට ඕන දෙයක් කරන්න පුළුවන්’ කියා ඔහු එම වෛද්‍යවරියට පවසා තිබූ බවද ප‍්‍රකාශ ලබාදී ඇතැයිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී ප‍්‍රකාශ කළේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාස් නූර්දීන් මහතා එහිදී කරුණු දක්වමින් එම සැකකරුට එරෙහිව එල්ල වූ චෝදනා අසත්‍ය බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ම කරුණු දක්වා ඇති බැවින් ඔහු මුදාහැරීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටියේය.

 ලීගල් ඇක්ෂන් නීති ආධාර ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ චානුක අබේවික‍්‍රම ද එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වීය.

 නීතිඥ ටෙරී ප‍්‍රනාන්දු, ඉන්දසිරි සේනාරත්න, නිලූෂි උයන්වත්ත ඇතුළු නීතිඥ මණ්ඩලයක් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

 පොලිස් අධිකාරි නුවන් අසංක, සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා පොලිස් පරීක්‍ෂක ඉලංගසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළහ.

 සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් නීතිඥ ශිරාස් නූර්දීන්, එරංග ගුණවර්ධන, හිජාස් හිස්බුල්ලා, පේ‍්‍රමරත්න තෙන්නකෝන්, සයිරාස් මොහොමඞ් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ. එම නඩුව ලබන 11 වැනිදා දක්වා කල්තැබිණි.
-divaina

No comments:

Post a Comment

Post Bottom Ad