සතියක් යන තුරු මරණ දණ්ඩනය ක්‍රියාත්මක නෑ - බන්ධනාගාර ජනරාල්ගෙන් අධිකරණයට පොරොන්දුවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 28, 2019

සතියක් යන තුරු මරණ දණ්ඩනය ක්‍රියාත්මක නෑ - බන්ධනාගාර ජනරාල්ගෙන් අධිකරණයට පොරොන්දුවක් !

ද (28) දින සිට සතියක කාලය තුළ බන්ධනාගාරගතව සිටින කිසිදු සිරකරුවකු මරණීය දණ්ඩනයට ලක් නොකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වී තිබේ.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාලින්ද සෙනෙවිරත්න නැමැත්තෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය විසින් නිකුත් කළ නොතීසියක් මත බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්.ජේ ඩබ්.තෙන්නකෝන් මහතා අද අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ගෙන් විමසා සිටියේ ඉදිරි දින 4 තුළ කිසියම් හෝ විත්තිකරුවකු මරණීය දණ්ඩනයට ලක් කිරීමේ සූදානම් තිබෙනවා ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ එවැනි ආකාරයේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන මෙන් තමන්ට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් ලැබි නොමැති බවයි.

මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කළ තවත් විමසුමකට පිළිතුරු දුන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අද දින සිට සතියක කාලයක් තුළ කිසිදු විත්තිකරුවකු මරණීය දණ්ඩනයට ලක් නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන බවද දන්වා සිටියේය.

ඒ අනුව අදාළ ප්‍රතිඥාව සටහන් කර ගත් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ජුලි මස 02 වන දා සිදු කරන බව ද නියම කළේය.

මෙහිදී නීතිපතිවරයා නියෝජනය කරමින් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව මෙවැනි නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දුන්නේය.

මෙම මූලික විරෝධතාව පෙත්සම සලකා බලන අවස්ථාවේ මතුකිරීමට හැකියාව පවතින බවද විනිසුරු මඩුල්ල රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට පෙන්වා දුන්නේය.

මලින්ද සෙනෙවිරත්න නැමැත්තෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා  සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයින් 4 දෙනෙකුට ඔවුන්ගේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කර ඇති බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මෙම තීරණය තුළින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුවත් ඒ තුළින් දැඩි මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවීමට ඉඩකඩ තිබෙන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

එම නිසා එම දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත නිකුත් කරන මෙන් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මීට අමතරව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිරකරුවන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් ද සිල්වා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොණුකර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජනය කරමින් නීතිපතිවරයාද ,අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, වැලිකඩ මහර සහ මහනුවර බන්ධනාගාරවල අධිකාරිවරු, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම ඇතුළු නව දෙනෙකු නම් කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් පමණක් නොව මිනීමැරුම් ඇතුළු චෝදනා ගණනාවකට වරදකරුවන් වී මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයින් බන්ධනාගාරවල සිටින බවයි.

එවැනි තත්වයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයින්ගේ දඬුවම් පමණක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය වන බව ද පිස්සන් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පෙන්වා දෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad