Loading...
කැත හිරිකිත නවක වධය තුළ පවතින අමානුෂික මුහුණුවර පිළිබඳ පළමු කළු පැල්ලම මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් මුල් වරට වාර්තා වන්නේ වර්ෂ 1975දීය. එකල 22 හැවිරිදි වියෙහි පසුවූ සරසවි සිසුවියක් වූ රූපා රත්නසීලී නම් තරුණිය මෘගයන් රැළක් ලෙස තමන් පසුපස හඹා එන ජ්‍යෙෂ්ඨ සිසු පිරිසකගෙන් බේරීම පිණිස නේවාසිකාගාර ගොඩනැ`ගිල්ලක දෙවන මහළින් බිමට පනින අතර එය ඇගේ ජීවිතය මුළුමනින්ම රෝද පුටුවකට සීමා කළ සිදුවීමක් ලෙස නිමාවට පත් වන්නේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ සිසුවියක්ව සිටි රූපා රත්නසීලී පසු කලෙක සිය දිවි හානිකර ගනු ලබන්නේ ඇයට අත්විඳින්නට සිදුවූ අධික මානසික පීඩනයක ප‍්‍රතිඵලයක් ලෙසය. දිනක් රූපා රත්නසීලීගේ රෝද පුටුව ඇගේ නිවස ආසන්නයේ පිිහිටි ළිඳක් අසල තිබෙනු දකින අසල්වාසීන් පිරිසක් ඒ පිළිබඳව විමසිලිමත්වීමේදී දකින්නට ලැබෙන්නේ සරසවි සිහිනය පමණක් නොව සියලූ ජීවිත අපේක්‍ෂාවන් අතරම`ග බිඳ වැටුණ අහිංසක ගැමි තරුණියක් වූ රූපා රත්නසීලීගේ පණසුන් නිසල සිරුර දිය පිරුණු ළිං පතුල තුළ රැඳී තිබෙන අයුරක්ය. එම සිදුවීම ඉතිහාසයට එකතු වන්නේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක‍්‍රියාත්මක නවක වධයේ අමානුෂික මුහුණුවර මුල්වරට ප‍්‍රදර්ශනය වූ අවස්ථාවක් ලෙසය.
එම සිදුවීමත් සමග ආරම්භ වන මිනීමරු නවක වධය හේතුවෙන් මේ වන විට මියගොස් සිටින සරසවි සිසුන් පිරිස විසි දෙනෙක්ය. තවත් පිරිසක් මරණීය වේදනා අත්විඳීමෙන් අනතුරුව ආබාධිත තත්ත්වයන්ට ලක්ව ඇත. ඉකුත් වසරේ නිකුත් වූ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණන් ඉලක්කම්වලට අනුව ඒ වන විට නවක වධය හේතුවෙන් සරසවි හැර ගිය පිරිස 28000 ක්ය.
ඇතැම් විට මේ වන විට එය ඊටත් වඩා ඉහළ අගයක් විය හැකිය. උසස් අධ්‍යාපනය පිණිස වසරකට විසි දහසක් පමණ සිසු සිසුවියන් පිරිසක් මෙරට සරසවි පද්ධතියට ඇතුළු වන අතර තත්වය කෙසේ වෙතත් අධ්‍යාපන සංසාරයේ නිර්වාණය බඳු සරසවිය අවීචි මහා නරකාදියක් බවට පත්වෙමින් පවතින්නේ ඉහත කෙටියෙන් විස්තර කරන ලද අමානුෂික නවක වධයේ බල මහිමය හේතුවෙන්ය.
එහි වර්තමාන ප‍්‍රකාශනය ඉකුත් දිනක නැවතත් රට හමුවේ ප‍්‍රකාශ විය. රුහුණු සරසවියේ සිසුවෙක් වන ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි දර්ශන උදයංග විසින් ඉකුත් 30 දා ඒ බව මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.
ඒ අනුව තියුණු තරගයක් බඳු උසස් පෙළ ජය ගැනීමෙන් අනතුරුව ඔහු ඇතුළු පිරිසක් සරසවි අධ්‍යාපනය පිණිස 2017 වර්ෂයේදී රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඇත. එහිදී නංගියේ... මල්ලියේ යන ආදරණීය ආමන්ත‍්‍රණයෙන් ඔවුන්ව පිළිගනු ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් පළමු දින කීපය තුළ ඉතාමත් ළෙංගතු ආකාරයෙන් හැසිරීම දර්ශන උදයංග ඇතුළු නවකයන්ගේ සිතට මහත් සැනසීමක් ගෙනදුන් කාරණයක් වී ඇත. ආපන ශාලාව, දේශනාගාරය අසල නිතර මුණගැසෙන ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ මුහුණු සති කීපයක් තිස්සේ එකිනෙකා පිළිබඳව ආගිය තොරතුරු හුවමාරු කරගන්නා අතර නවකයන්ගේ පාසල් ජීවිතය, පවුල් පසුබිම ඇතුළු නොයෙකුත් දේ ඒ සඳහා පාදකවී ඇත.
ඒ අයුරින් කාලය කෙමෙන් ගතවෙමින් පවතින අතර 2018 වර්ෂයේ පෙබරවාරි මස නවක කාන්තා සිසුවියන් සඳහා නේවාසිකාගාර පහසුකම් ලබාදී ඇත. දර්ශන උදයංග පවසන ආකාරයට රුහුණු සරසවිය තුළ ක‍්‍රියාත්මක නවක වධය අමානුෂික මුහුණුවරකින් හිස ඔසවන්නේ එම සිදුවීමත් සමගය.
නේවාසිකාගාර පහසුකම් දුන්නෙ 2018 වසරේ පෙබරවාරි මාසෙ දවසක. ඊට පහුවෙනිදා ඉඳල තමයි මේ අමානුෂික වධක ක‍්‍රියාවලිය ආරම්භ කරන්නෙ. එදා දවල් කෑමෙන් පස්සේ ජ්‍යෙෂ්ඨ සිසුන් කියල කියා ගත්ත පිරිසක් ඇවිත් කිව්ව පුස්තකාලෙ බලන්න යන්න ලෑස්ති වෙන්න කියල. ඊට පස්සෙ ඒ අය අපිව පේලියට වාඩි කරවල ෆෝන් ඕෆ් කරන්න කිව්ව. ඊට පස්සෙ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් අසභ්‍ය වචන කිය කිය අපේ් කමිස, ඉරන්න ගත්ත. ඊට පස්සෙ අපිව ශ‍්‍රවණාගාරයට යවනව. කැම්පස් භාෂාවෙන් ඒකට කියන්නෙ ‘ගොං ආතල්’ කියල. එතනදී හොස්ටල් සංස්කෘතිය උගන්වනව කියල විවිධ වධ බන්ධනවලට ලක් කරනව.
‘නේවාසිකාගාර ඇතුළේ අමානුෂික විදිහට අපට වධ දෙනව. සරමයි, ටී ෂර්ට් එකයි ඇඳගෙන ජ්‍යෙෂ්ඨයන්ගෙ සියලූම වැඩ කරල දෙන්න ඕන. අපිව ශාරීරික වධ බන්ධනවලට ලක් කරන්නෙ රෑට. අපිව කාමරවලට දාල පහර දෙන්න ගන්නව. දවසක් පාන්දර 4.00 ට විතර පිරිසක් ඇවිත් මල්ලි... මල්ලි... කියල මට කතා කළා. ඊට පස්සේ ඒ අය මාව බලෙන් එළියට අරන් හොස්ටල් එකෙන් තරමක් ඈත කළුවර තැනකට අරන් යනව. ඇඳුම් ඉවත් කරල ශරීරයේ රහස් තැන් පවා තුවාල වෙන ආකාරයට පහර දෙනව. මේක මට විතරක් විඳින්න වෙච්ච අත්දැකීමක් නොවෙයි. නවකයන් වුණ අපි හැමෝම මේ අත්දැකීමට මුහුණ දෙනව. ඔය වගේ විවිධ ලිංගික හිංසනයන් රැසකට රැග් සීසන් එකේදී මුහුණ දෙනව. ඒ දේවල් හරිම වේදනාකාරී අත්දැකීම්. මේ දරුණු ලිංගික වධ හිංසන හඳුන්වන්නේ ‘බෝංචි කැඞීම’ කියල.’
දර්ශන උදයංග පවසා සිටින ආකාරයට නවක වධය හිංසනය එතනින් නතර වන්නේ නැත. සරසවි සංස්කෘතියට අදාළ විවිධ නම් ඇතුළත් වධක ක‍්‍රියාවලියකට ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇත. නිරුවතට මුල්තැනක් ලබා දෙමින් සිදුකර තිබෙන මෙම වධ බන්ධනයන් අතරට ‘රාජසිංහ අමුඩය’ සහ ‘සරසවි කල්කය’ නමින් හඳුන්වන වධක ක‍්‍රියාකාරකම් දෙකක්ද ඇතුළත්ය. ඒ හරහා ශිෂ්ට සමාජය විසින් කිසිසේත් අනුමත නොකරන ආකාරයේ ශාරීරික හිංසනයන් නවකයන් උදෙසා ජ්‍යෙෂ්ඨයන් විසින් ක‍්‍රියාවට නංවා ඇති අතර එය සති දෙකක් තිස්සේ අඛණ්ඩව සිදු කරගෙන ගොස් ඇත. ඉන් අනතුරුව නවක වධයේ එක් අංගයක් වන බකට් එක ලබාදීමට පෙර දින රැය දර්ශන උදයංග ඇතුළු තවත් නවකයන් පිරිසකට වේදනාකාරී දීර්ඝ රාත‍්‍රියක් වී ඇත. මැද්දවත්ත නේවාසිකාගාරය නමින් හඳුන්වන ගොඩනැ`ගිල්ලක් තුළ ඔවුන්ව රැය පුරා වධ වේදනාවන්ට ලක්කරන ජ්‍යෙෂ්ඨයන් තම මානසික විකෘතිය සංසිඳුවා ගනු ලබන්නේ වෙහෙස, පීඩාව, මුසු නවකයන්ගේ අසරණකම දැකීමෙන් අනතුරුවය.
”මම මගේ ජීවිතයේ විඳපු පීඩාකාරී අත්දැකීම් මගේ අම්මත් එක්ක කිව්ව. මා ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටිය මගේ අම්ම ඒ දේවල් අහල හු`ගක් කම්පා වුණා. අම්ම මාවත් අරන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ගියා. ගිහින් මේ සිද්ධීන් ගැන කිව්ව. එතනදී මට රජරට සරසවියට යන්න අවශ්‍ය වටපිටාව ඒ අය විසින් හදල දුන්න. නමුත් ගමනාගමනයේ තිබෙන දුෂ්කරතාවන් ආදිය ගැන හිතල අන්තිමට මම තීරණය කළා නැවතත් රුහුණු සරසවියම තෝරගෙන අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න. මමයි අම්මයි අයියයි නැවතත් රුහුණට ගිහින් උප කුලපතිතුමා මුණ ගැහුණ. එතුමා මාව බලාගන්නම් කියල පොරොන්දුවක් දුන්න. ඒ සිදුවීමෙන් පස්සෙ ටික දවසක් මම ගෙදර ඉඳන් සරසවියට ගියා. ඒ වෙද්දී මට විඳින්න සිද්ධ වෙලා තිබුණ මානසික හා ශාරීරික පීඩාවලට මම වෛද්‍ය ප‍්‍රතිකාර අරන් හිටියෙ. එච්. අයි. වී. පරීක්ෂණයකට පවා භාජනය වෙන්න මට සිද්ධ වෙනවා. අවසානයේදී මම වෙනත් ස්ථානයක බෝඩිං වෙලා සරසවියට යන්න ගත්ත. ඇත්තටම මම හිතුව ජ්‍යෙෂ්ඨයන් විසින් ඔවුන්ගේ කෲර වධ බන්ධන එතනින්වත් නතර කරයි කියල. නමුත් එහෙම වුණේ නැහැ. ඒ අය මාව දැක්ක තැන මගේ කනට ගහනව. එහෙම වටපිටාවක් ඇතුළෙ පළමු වසර විශේෂවේදී උපාධිය කර ගන්න මට බැරි වෙනව. මේ හැම දෙයක්ම මගේ අම්ම දැනගෙන හිටිය. අම්මා මේව අහල ගොඩක් කම්පා වුණා. අන්තිමට මේ වසරේ අපේ‍්‍රල් මාසෙ දවසක හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අම්ම මියයනව. වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙන්නෙ ස්නායුවලට සිද්ධ වෙච්චි හානි හේතුවෙන් අම්මගෙ මරණය සිද්ධ වෙලා කියල. අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළෙ දිගින් දිගටම සිද්ධ වෙන මේ අමානුෂික නවක වධයේ මම එක ගොදුරක් විතරයි. ඒ හරහා සිද්ධ වෙන අසාධාරණය, අවනීතිය රටට හෙළි කරන්න මම තීරණය කළා. මගෙ අම්ම දැන් මගේ ළ`ග නැහැ. මම සරසවිය තුළ ඉන්න ගමන් මේ අමානුෂිකත්වයට එරෙහිව සටන් කරන්න තීරණය කළා.”
දර්ශන උදයංග පවසා සිටින ආකාරයට සරසවිය තුළ තවදුරටත් රැඳී සිටිමින් නවක වධයට එරෙහිව සටන් කිරීමට ඔහු විසින් තීරණය කොට ඇත. ඉකුත් 30 දා පැවැති මාධ්‍ය හමුව අමතමින් ඔහු විසින් ඒ බව සඳහන් කරන අතර ඊට පෙර ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නවක වධය ඇතුළු වෙනත් සාහසික ක‍්‍රියා නතර කිරීම පිණිස විශ්වවිද්‍යාල පනතක් ඉදිරිපත් කර ඇත. 1997 වසරේ සිදුවූ නවක වධ සිද්ධීන් සමූහයකින් අනතුරුව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මගින් එය බලාත්මක කරන අතර ඉහත සඳහන් සිදුවීම ඇතුළු ඒහා සමාන තවත් සිදුවීම් රැසක් දිගින් දිගටම සිදු වෙමින් පවතින්නේ ඉහත සඳහන් නීතිමය තත්ත්වයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින පටපිටාවක් තුළය.
කෙසේ වෙතත් වසර දෙකකට එපිට සිදුවූ සිදුවීමක් මුල්කර ගනිමින් ඉකුත් දිනක සරසවි ශිෂ්‍ය දර්ශන උදයංග කරළියට පැමිණීමත් සමග සරසවි පද්ධතිය තුළින්ම ඊට ප‍්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් වෙමින් ඇත. ඒ හරහා අනාවරණය වෙමින් පවතින්නේ මේ වන විට මෙරට තුළ ක‍්‍රියාත්මක පුද්ගලික විශ්වවිද්‍යාල වඩාත් ප‍්‍රචලිත කිරීමේ අරමුණින් රජයේ විශ්වවිද්‍යාල ඉලක්ක කොට ඇතැමුන් මෙවැනි චෝදනා ඉදිරිපත් කරන බවත් උදයංග කරළියට පැමිණෙන්නේ එවැනි පසුබිමක් මුල් කර ගනිමින් බවත්ය.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාල කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක නවක වධ සිදුවීම් ආශ‍්‍රිතව ශාරීරික අඩන්තේට්ටම්වල අනිවාර්ය අංගයක්වී ඇති ලිංගික හිංසනයන් හේතුවෙන් බරපතළ සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් ඇත. මනෝ වෛද්‍යවරුන්ගේ විශ්ලේෂණවලට අනුව නවක වධය හේතුවෙන් විවිධ මානසික
ව්‍යාධීන්ගෙන් සමන්විත උපාධිධාරීන් බිහිවීම පිණිස මේ කියන අමානුෂික නවක වධය පාදක වන අතර ඒ හරහා රටේ අනාගතය අඳුරුවීමේ අවදානමක් පවා ඇතිවිය හැක. කෙසේ වෙතත් මෙරට සරසවි පද්ධතිය තුළින් අතුගා දැමිය යුතු එහෙත් මේ වන තෙක් ඒ සඳහා නොහැකියාවෙන් යුතු අදාළ බලධාරීන් දැන්වත් ඒ සඳහා ක‍්‍රියාත්මක විය යුතු යුගය දැන් පැමිණ ඇත.

No comments:
Post a Comment