ප්‍රධාන දේශපාලන කණ්ඩායම් තුනම නොනිල මට්ටමෙන් ජනපතිගේ අත්අඩංගුවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 19, 2019

ප්‍රධාන දේශපාලන කණ්ඩායම් තුනම නොනිල මට්ටමෙන් ජනපතිගේ අත්අඩංගුවේ !

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම සමාජ මාධ්‍ය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව යළිත් දැඩි ලෙස උපහාසයට ලක් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පහළ මට්ටමේ ක්‍රියාකාරීන් ඉහළින්ම කටයුතු කරනු පෙනේ. ජනාධිපතිවරයාගේ දේශපාලනය අවසන් වීමේ ප්‍රීතිය දැන්ම තියා ඔවුන් සමරන ආකාරයකි පෙන්නුම් කෙරෙන්නේ.

එහෙත් අප වෙත වාර්තා වන අන්දමට නම් නොවැම්බර් 16 වනදාම ජනාධිපතිවරණය පැවැත්වුණ ද එතෙක් පවතින දින 57ම තුළත් එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වය, සජිත් පාර්ශ්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන ප්‍රධාන දේශපාලන කණ්ඩායම් තුනේම ඉරණම තීරණය කරන නූල් පොටවල් සියල්ලම මේ වනවිටත් අති සාර්ථක ලෙස තමන් සතු කරගන්නට ජනාධිපතිවරයා සමත් වී සිටී.

රනිල් පාර්ශ්වය

රනිල් පාර්ශ්වය ගතහොත් ජනාධිපතිවරයාගේ බලවත් වෛරයට පාත්‍රවී සහ ඔහුගේ දඩයමට පහසුවෙන්ම ගොදුරු වන මට්ටමේ සිටින්නේ ඔවුන්ය. මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නඩු විභාගය ආරම්භ වූ සැණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත අතර ඔහු සහ රවී කරුණානායක අමාත්‍යවරයා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද ඉතාම ඉහළ සම්භාවිතාවක් තිබේ.

එසේම එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව ද 2015 - 2018 දූෂණ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම විසින් පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින අතර අවශ්‍ය මොහොතක ඔහුවත් කොටු කරගැනීම ජනාධිපතිවරයාට එතරම් අසීරු කාරණයක් නොවේ.

තවත් එජාප රනිල් පාර්ශ්වයේ ප්‍රබලයින් කිහිප දෙනෙකුම සම්බන්ධයෙන් ලිපිගොනු ජනාධිපතිවරයා සන්තකයේ සූදානමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළියෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාට යළි අග්‍රාමාත්‍ය ධුරය නොදෙන බවට ශපථ කර සිටියදී උද්ගත වූ තත්වය මත නැවතත් ඔහුටම එම තනතුර ලබාදීමට සිදුවීම තුළින් තමන් ලද නින්දාව කිසිසේත්ම අමතක කිරීමට ජනාධිපතිවරයා සූදානම් නොමැති අතර තනතුර අතැර යාමට දිනකට පෙර හෝ ඔහුට පාඩමක් ඉගැන්වීමට ජනාධිපතිවරයා කටයුතු කරනු නියතය.

සජිත් පාර්ශ්වය 

එජාප සජිත් පිල ජනාධිපතිවරයාගේ ආශිර්වාදය සහිතව ක්‍රියාත්මක වුවත් අවශ්‍ය මොහොතක ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ද ජනාධිපතිවරයා අත තුරුම්පු තිබේ. විශේෂයෙන් එහි කැරලි නායකයින් වශයෙන් කටයුතු කරන මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන දෙදෙනාම තමන්ගේ රූකඩ මට්ටමටම ජනාධිපතිවරයා විසින් පත්කරගෙන සිටින්නේ බැඳුම්කර වංචාව පිළිබඳ නඩු විභාගය පෙන්වමිනි. නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ වහාම ඔවුන් දෙදෙනාගේ මීට ඇති සම්බන්ධය එළියට ඇදෙනු ඇති අතර ඔවුන්ගේ ඉරණම ජනාධිපතිවරයාගේ අනුකම්පාව මත තීරණය වනු ඇත.

එසේම බැඳුම්කර වංචාව සාධාරණීකරණය කිරීම සඳහා පොතකුත් ලියූ, අර්ජුන් ඇලෝශියස්ගෙන් රුපියල් ලක්ෂ 30කුත් ලබාගත් බව ඔප්පු වී ඇති සුජීව සේනසිංහ, බැඳුම්කර වංචාව පිළිබඳ කෝප් කමිටු වාර්තාවට ෆුට් නෝට් එකතු කළ ෆුට් නෝට් කල්ලිය වශයෙන් හැඳින්වුණු
ආචාර්ය හර්ෂ ද සිල්වා, (එජාප-කොළඹ දිස්ත්‍රික්ය)
සුජිව සේනසිංහ (එජාප-කොළඹ දිස්ත්‍රික්ය)
අජිත් පී. පෙරේරා (එජාප-කලුතර දිස්ත්‍රික්ය)
හර්ෂන රාජකාරුණා (එජාප-ගම්පහ දිස්ත්‍රික්ය)
හෙක්ටර් අප්පුහාමි (එජාප-පුත්තලම දිස්ත්‍රික්ය)
අශෝක අබේසිංහ (එජාප-කුරුණෑගල දිස්ත්‍රික්ය)
අබ්දුල් හලාල් මහරුෆ් (එජාප-ත්‍රිකුණාමල දිස්ත්‍රික්ය)
වසන්ත අලුවිහාරේ (එජාප-මාතලේ දිස්ත්‍රික්ය)
රවින්ද්‍ර සමරවීර (එජාප-බදුල්ල දිස්ත්‍රික්ය යන සියලු දෙනාම අද සිටින්නේ සජිත් පාර්ශ්වය සමඟය. මෙය ඇත්තෙන්ම උත්ප්‍රාසජනක තත්වයක් වන අතර සජිත් පිල මෙතරම් ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධයක් පවත්වන්නේ ඇයිද යන්නට හොඳ පැහැදිලි කිරීමක් ද වෙයි. මොවුන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මූල්‍ය අවභාවිතාවන්, දූෂණ චෝදනා සම්බන්ධ තවත් ලිපිගොනු කිහිපයක් ද ජනාධිපතිවරයා සන්තකයේ පවතී.

ශක්තිමත් දේශපාලන පදනමක් හෝ දැක්මක් හෝ අත්දැකීම් ද නොමැති මේ අය නැටවීම ජනාධිපතිවරයාට ඉතාම පහසු කටයුත්තකි.

අනෙක් අතින් ගම්මට්ටමේ, බිම්මට්ටමේ, ළිංමට්ටමේ බලයක් ගැන කතන්දර කීව ද සජිත් ඇතුළු මේ පාර්ශ්වයේ සියල්ලන්ටම ජාතික මට්ටමේ බලයක් නොමැති හෙයින් ඔවුන්ගේ නාඩගම සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂණය කෙරෙන්නේ ජනාධිපතිවරයාට සහ තවත් එක් පුද්ගලයෙකුට වුවමනා ආකාරයටය.

පොහොට්ටුව

අවසන් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගතහොත් අදටත් එහි මන්ත්‍රීවරුන් පනහකට අධික සං‍ඛ්‍යාවක් ඕනෑම මොහොතක පාර්ලිමේන්තු මන්ත්‍රීධුරවලින් නෙරපා හැරීමේ හැකියාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතුය. ඒ, ඔවුන් තමන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණු දේශපාලන පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට දැන් වෙනත් පක්ෂයක් නියෝජනය කරන හෙයිනි. ඔවුන්ගේ මන්ත්‍රීකම්, මන්ත්‍රී වරප්‍රසාද සියල්ල රඳා පවතින්නේ ජනපතිගේ හොඳහිත මතය.

අනෙක් අතට පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිට බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවකට එරෙහිව දැනටත් ක්‍රියාත්මක වන නඩු තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණාත්මක කෞතුකාගාර නඩුව ඔක්තෝබර් 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට සූදානමින් පවතී. ඔහු 2005 වසරේ සිදුකළ මැතිවරණ වංචාවක් සම්බන්ධයෙන් ද අවිධිමත් ආකාරයෙන් විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ද දැනට අලුතින්ම විමර්ශන දෙකක් ද ක්‍රියාත්මකය.

එමෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම, කීත් නොයාර්ට පහරදීම, රතුපස්වල ඝාතනය, වැලිකඩ ඝාතනය ඇතුළු ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇඟිල්ල දිගුවන නඩු කිහිපයක් සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස ද නීතිපති දෙපාර්තමේන්තුව බලපෑම් කරමින් සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයකදී 42%ක් ඡන්ද ලබාගත් පමණින් මෙකී නීතිමය කටයුතුවලින් ගැළවිල්ලක් ලබාගත නොහැක. මහජන බලය තමන් වෙත ඇතැයි කොතරම් පාරම් බෑව ද ජනාධිපතිවරයාගේ හොඳහිත මත යැපෙනු විනා මේ තීරණාත්මක මොහොතේ ඔවුන්ට වෙනත් විකල්පයක් ද නැත.

තිත්ත ඇත්ත

මෙය පිළිගැනීම මෙකී දේශපාලන කණ්ඩායම්වල අනුගාමිකයින්ට තරමක් අසීරු කටයුත්තක් වන්නට පුළුවන. ඇත්තෙන්ම එය දුෂ්කරය. එහෙත් වත්මන් දේශපාලන තත්වයෙහි තිත්ත ඇත්ත මෙයයි. තමන් කෙතරම් අකමැති වුවත් මේ සියලු පාර්ශ්ව තමන්ට ඕනෑම මොහොතක එළියට හෝ ඇතුළට දැමීමට ජනාධිපතිවරයාට හැකිය. සදාචාරාත්මක ප්‍රශ්න මීට අදාළ වන්නේම නැති බව 2018 ඔක්තෝබර් පෙරළියෙන් වටහාගත යුතුය.

ඒ අනුව සරලවම කියන්නේ නම් මේ වනවිට රටේ ප්‍රධාන දේශපාලන පාර්ශ්ව තුනම සිටින්නේ නොනිල මට්ටමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත් අඩංගුවේය !


No comments:

Post a Comment

Post Bottom Ad