රසායනික් පොහොර ආනයනය නතර කිරීම ඉතා ම භයානකයි… රටේ මහා සාගතයක් ඇති වෙන්න පුළුවන්… – හේමකුමාර නානායක්කාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 30, 2021

රසායනික් පොහොර ආනයනය නතර කිරීම ඉතා ම භයානකයි… රටේ මහා සාගතයක් ඇති වෙන්න පුළුවන්… – හේමකුමාර නානායක්කාර

කෘෂිකාර්මාන්තය සම්බන්ධයෙන්, බීජ තාක්ෂණය සම්බන්ධයෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම සහිත පුද්ගලයන් මෙතරම් සිටිය දී එකවරම කෘෂි රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීම සඳහා ජනාධිපතිවරයාට උපදෙස් ලබා දෙන්නේ කවුද යන්න බරපතළ ගැටලුවක් බව සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික හේමකුමාර නානායක්කාර පවසයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් ඉතා නුදුරේදීම සාගතයකට මුහුණදීමට සිදුවනු ඇති බවටත්, බත්පත වෙනුවෙන් ගහ-මරා ගන්නා ජාතියක් බිහිවිය හැකි බවටත් ඔහු අනතුරු අඟවයි.

රටේ දැනට භාවිත කරන බීජ වර්ගවලින් 98% කට වඩා ප්‍රමාණයක් දෙමුහුන් එසේ නැතහොත් හයිබ්‍රිඩ් වර්ගයේ බීජ බවත් එම බීජ භාවිත කර වගා කිරීමේදී රසායනික පොහොර භාවිත කිරීම අනිවාර්ය වන බවත් පෙන්වා දෙන හේමකුමාර නානායක්කාර පවසන්නේ පොහොර භාවිත නොකළහොත් එම බීජවලින් හටගන්නා පැළ ඵල හට නොගන්නා බවයි.

එසේ ම කාබනික පොහොර භාවිත කර කෘෂිකර්මාන්ත කටයුතු සිදු කිරීම ඉතා යෝග්‍ය යෝජනාවක් බවත් ඒ සඳහා කිසිදු විරෝධයක් නොමැති බවත් ඔහු පවසයි. එවැනි ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් ආරම්භ කළ යුත්තේ අවම වශයෙන් අවුරුදු 20 ක පමණ දිගුකාලීන වැඩපිළිවෙළක් යටතේ බව පෙන්වා දෙන ඔහු පවසන්නේ වගා බිම් සකස් කිරීමේ පටන් එය ආරම්භ කළයුතු බවයි.

විශාලම අර්බුදය වන්නේ කාබනික පොහොර යොදා වගාකළ හැකි බීජ සොයා ගැනීම බවත්, ඒ අනුව බීජ සකස් කිරීමේ පටන් මෙම වැඩපිළිවෙල දියත් වියයුතු බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හරහා මෙම අමනෝඥ ක්‍රියාවලිය ආරම්භ කිරීමට එක් පිරිසක් උත්සාහ කළ බවත්, එම පිරිසම අද ගෝඨාභය රාපක්ෂ සමග ද සිටින බව තමා දුටු බවත් හේමකුමාර නානායක්කාර පවසයි. රුපියල් බිලියන 80ක මුදල් ඉතිර කර ගැනීමේ අරමුණින් මෙවැනි අමනෝඥ, ඉතා භයානක යෝජනා ක්‍රියාත්මක කර මහා සාගතයක් කරා රට කැඳවා ගෙන යාමේ පාපතර ක්‍රියාවට නායකත්වය ලබා නොදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad