"ලංවිම ඉංජිනේරු සංගමය සමගත්, වෘත්තීය පදනමක් තිබෙන පිරිස් සමගත් සාකච්ඡා කරලා, රටට ඔබින, පාරිභෝගිකයාට අඩු මිලට විදුලිය ලබාදෙන්න පුළුවන් විදුලි ජනනය කිරීමේ වැඩපිළිවෙලක් තමයි සකස් කරන්නේ. මම මේ මොහොතේ ඒ පිළිබදව අධ්‍යයනය කරමින් සිටින්නේ. වැඩිකල් යන්නට මත්තෙන් කැබිනට් එක තුළින් එම වැඩපිළිවෙල සාමුහිකව ඉදිරිපත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. හැකි ඉක්මණින් අඩු මුදලකට විදුලිය නිපදවන වැඩපිළිවෙලකට අවතීර්ණ වෙලා අහිංසක පාරිභෝගිකයන්ට සයනයක් ලබාදෙන්න වගේම ව්‍යාපාරිකයන්ට අසල්වැසි රටවල් සමග තරගකීමට හැකි තත්ත්වයක් උදාකරලා දෙනවා කියලා මම මේ මොහොතේ සහතික වෙනවා" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, ඊයේ (28) පෙරවරුවේ කොළඹ 03, ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා - 2019 තරගාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවූ අවස්ථාවේ මාධ්‍ය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
"කිසිසේත්ම විකුණන මිලට වැඩි මිලකට විදුලිය නිපදවන වැඩසටහනකට යොමුවන්නට මට අවශ්‍යතාවක් නැහැ. මම නොදන්නා ක්ෂේත්‍රයක් නිසා, විදුලිබල මණ්ඩලයේ අවශ්‍යතාව කුමක්ද කියලා ඔවුන් ලිඛිතව දැනුම් දුන්නට පසුව ඒක සියළුදෙනා සමග සාකච්ඡා කරලා තමයි කටයුතු කරන්නේ. විදුලිබල මණ්ඩලය අපට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන එක සම්බන්ධයෙන් අපි සහතික විය යුතුයි. ඒ වැඩපිලිවෙල තමයි අපි මේ කරගෙන යන්නේ. මේ තුළින් මම ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ අපේ අහිංසක පාරිභෝගික ජනතාව මෙතෙක් අධික මිලක් ගෙවපු එකට යම් ප්‍රතිලාභයක් ලබාගන්න පුළුවන් වැඩපිලිවෙලක් සකස් කරන්නයි.
සෑම ව්‍යාපාරයකම වගේ විදුලිබල ක්ෂේත්‍රයේත් ගැටළු තිබෙනවා. ගැටලු නිරාකරණය කරලා, තරගකාරීත්වයට මුහුණ දීලා, අඩුම වියදමකින් විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලකට අප අවතීර්ණ වියයුතුයි. මේ සදහා මගේ මූල්‍ය දැනුම පාවිච්චි කරලා, හැමතැනම පුළුවන් තරම් වියදම් අඩුකරගෙන කටයුතු කරගෙන යනවා. මේ අවස්ථාවේ විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන් එකතුවෙලා නව උනන්දුවකින් වැඩකිරීම මට ලොකු ශක්තියක් වෙලා තිබෙනවා" යැයි පැවසීය.
No comments:
Post a Comment