විශ්ව රූ රැජින දකුණු අප්‍රිකාවෙ සොසිබිනි ටුන්සි : Miss Universe Zozibini Tunzi [ Photos + Video ] - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 9, 2019

විශ්ව රූ රැජින දකුණු අප්‍රිකාවෙ සොසිබිනි ටුන්සි : Miss Universe Zozibini Tunzi [ Photos + Video ]

විශ්ව රූ රැජින ලෙස දකුණු අප්‍රිකාවේ සොසිබිනි ටුන්සි කිරුළු පැළඳ තිබේ. ගෙවුණු ඉරිදා ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවති එම තරඟාවලියෙන් තරුණියන් 90කට වැඩි පිරිසකගෙන් මෙම කළු ජාතික තරුණිය විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළදීම සුවිශේෂී අත්දැකීමක් වී ඇත. 

ඇගේ කළු ඉතා කෙටි කොණ්ඩය විශේෂ අවධානයක් දිනාගැනීමට සමත්ව තිබේ. තරඟාවලිය පුරා ඇය සුවිශේෂී අන්දමින් හැසිරී ඇති අතර ඇගේ චින්තනය හා බුද්ධිය සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලය ඉතා පැහැදීමකට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ.

දේශගුණික විපර්යාස, සමාජ මාධ්‍ය, සමාජ විරෝධතා වැනි කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් තරඟකාරියන්ගෙන් අසා ඇති අතර කිරුළ දිනාගත් 26 හැවිරිදි සොසිබිනි ටුන්සි ගෙන් අවසාන ප්‍රශ්නය ලෙස විමසා ඇත්තේ වර්තමානයේදී තරුණ ගැහැණු දරුවන්ට ඉගැන්විය යුත්තේ කුමක්ද යන්නයි.

අගේ පිළිතුර වී තිබුණේ "නායකත්ව" යන්නයි.

"එය දිගුකලක් තිස්සේ ගැහැණු දරුවන්ගෙන් හා කාන්තාවන්ගෙන් දුරස්වූ දෙයක්. එලෙස සිදු වූයේ එය අපට අවශ්‍ය නොවූ නිසා නෙවෙයි. කාන්තාවන් ලෙස ලේබල් වීම නිසයි. මම හිතන්නේ අපි ලොව බලවත්ම පුද්ගලයන් වන අතර අපට සෑම අවස්ථාවක්ම ලබා දිය යුතුයි. ඒ වගේම තමයි ඉඩ ලබා ගැනීමටත් අපි මේ තරුණියන්ට ඉගැන්විය යුතුයි."

මෙම තරඟාවලිය පුරා විශිෂ්ඨ ලෙස හැසිරී ඇති සොසොබිනි මෙලෙස කිරුළු පළඳින්නේ 2011 ලිලියා ලෝපේස් ගෙන් පසු බිහි වූ කළු ජාතික තරුණිය ලෙසයි. 

විශ්ව රු රැජින ලෙස කිරුළු පැළදීමෙන් පසු ඇය සඳහන් කර තිබුණේ තමන් හැදී වැඩුණේ තමන් වැනි (සමේ වර්ණය සහ හිසකෙස් වල ස්වභාවය මතුකරමින් )කාන්තාවන් කොහෙත්ම සුන්දර ලෙස නොදකින ලෝකයක බවයි. 

එහෙත් එය අද පටන් නවතිනු ඇති බවට තමන් සිතන බවයි ඇය පවසා තිබුණේ. 

මෙම තරඟාවලියේ දෙවන ස්ථානය පුවටෝ රිකෝහි මැඩිසන් ඇන්ඩ්‍රසන් දිනාගෙන තිබෙන අතර තුන්වන තැන හිමිවී ඇත්තේ මෙක්සිකෝහි සොෆියා ආර්ගන් වෙතයි.





No comments:

Post a Comment

Post Bottom Ad