දෙනියායේ දී පොහොට්ටු 3ක් රෝහල්ගත කළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 22, 2020

දෙනියායේ දී පොහොට්ටු 3ක් රෝහල්ගත කළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කරන අපේක්ෂකයින්ට සහාය දැක්වීම සදහා කොටපොල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ජුනි 21 දින පැවැත්වීමට සූදානම් කර තිබු රැස්වීමක දී පක්ෂයේ අපේක්ෂකයින් දෙදෙනෙකුගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

අදාළ ගැටුමෙන් කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුලු තිදෙනෙකු රෝහල් ගත කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. ඔවුන් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

අදාළ රැස්වීම සංවිධානය කළ කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජීව අරුක්ගොඩ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී මානෙල් ආනන්ද හා මාතර දිස්ත්‍රික් අපේක්ෂක නිපුන රණවකගේ ආධාරකරුවෙකු වන ජීවන් ලංකාතිලක යන අය මෙලෙස රෝහල්ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් සිදුවීමට මූලික වූ දෙපාර්ශ්වයම, සිදුවීම පිළිබඳව දෙනියාය පොලීසිය වෙත වෙන වෙනම පැමිණිලි කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරනවා.

වාර්තා වන පරිදි ගැටුමට සම්බන්ධ වී ඇති ආධාරකරුවන් හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර හා නවක අපේක්ෂක නිපුණ රණවක යන අපේක්ෂකයින් දෙදෙනාට සම්බන්ධ පිරිස් බව ද අනාවරණය වී තිබෙනවා.

කොටපොල ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ දී මාතර දිස්ත්‍රික් පොහොට්ටු අපේක්ෂකයින් කිහිප දෙනෙකුට සහය පළ කිරීමට පවත්වමින් සිට ඇති ජන හමුවකට අනාරාධිතව පැමිණි බව කියන නිපුණ රණවකගේ ආධාරකරුවන් පිරිසක් හරවා යැවීමට උත්සාහ කිරීමේ දී අදාළ ගැටුටම ඇති වූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කාංචන විජේසේකර සඳහන් කර ඇත්තේ “මැර ප්‍රහාරය සහ තර්ජනය” හෙළා දකින බවයි.

“කොටපොළ සභාපති, උප සභාපති ඇතුළු මන්ත්‍රීවරුන්ට කල මැර ප්‍රහාරය සහ තර්ජනය හෙලා දකිමු. මැරකම්වලට, තර්ජනවලට සහ අභියෝග වලට බයේ දේශපාලනය නතර කරනවානම්, අපි පසුගිය අවුරුදු 5 ඉන්න ඕන ආණ්ඩුවේ!”

– කාංචන විජේසේකර

සිදුවීම සම්බන්ධයෙන් වන චෝදනා මාතර දිස්ත්‍රික් අපේක්ෂක නිපුණ රණවක ප්‍රතික්ෂේප කර ඇති අතර එවැනි දෑ තමන් අනුමත නොකරන බව සඳහන් කර තිබෙනවා.

එසේම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායක ඩලස් අලහප්පෙරුම විසින් අපේක්ෂකයින් දෙදෙනාටම සිය අප්‍රසාදය පළ කර, තරයේ අවවාද කර ඇති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වැඩ පිළිවෙළ ශක්තිමත් කරනු විනා එම වැඩ පිළිවෙළට හානිදායක වන ආකාරයේ හැසිරීම් කිසිවෙකුගෙන් තමා අපේක්ෂා නොකරන බව ඔහු සඳහන් කර තිබෙන බව ද වැඩි දුරටත් වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන පරිදි සිදුවීම සම්බන්ධයෙන් පක්ෂය විසින් ද වැඩි දුර පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.


No comments:

Post a Comment

Post Bottom Ad