වී.ජේ නිලුපුලී ඉදිකැටිය මහත්මිය ශ්රී ලංකාවේ ජීවත්වන සෑම කාන්තාවකටම ආදර්ශයක් විය හැකි දිරිය මවක්. කලක් අංශභාග රෝගයෙන් පීඩා විඳි ඇය මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටීමේ සිදුවීමත් සමඟ සිය ජීවිතයේ නව පරිච්ජේදයකට පිවිසෙනවා. ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතා කරමින් ඇය විවිධ නිර්මාණ කිරීම ආරම්භ කරනු ලබන අතර දිවයින පුරා විවිධ නගරවලට යමින් එම නිර්මාණ අලෙවි කිරීම සදහා ඇය දැඩි පරිශ්රමයකින් ක්රියා කරනවා.
“මම අංශභාග රෝගියෙක්. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුන දවසේ මම හිතුවා කුණු කන්දකට මිනිස්සු මරන්න පුලුවන්නම් ඇයි මට ජීවත් වෙන්න බැරි කියලා. අවුරුදු එකහමාරක් මම ජීවත් වුණේ අතට අහුවෙන ප්ලාස්ටික්, පොලිතීන්, සිලිමලු, දැල් උර වලින් විවිධ නිර්මාණ කරලා ගාල්ල, මාතර, මීගමුව වගේ දුර ප්රදේශවලට අරන් ගිහින් ප්රදර්ශණ තියලා විකුණලා. මට චූටි දුවෙක් ඉන්නවා අවුරුදු 10 යි. මම මගේ දෝණි වෙනුවෙන් තමයි මරමුවට ගිහිල්ලා.. අද ජීවත් වෙන්නේ.” ඒ ඇයගේ හඬයි.
මහනුවර මහනගර සභාවේ නිලධාරියෙකු විසින් ඇයගේ දක්ෂතාවය වටහාගෙන ඇයව අත්කම් නිර්මාණ උපදේශිකාවක් ලෙස රාජ්ය සේවයට බඳවාගැනීමට ක්රියා කර ඇති අතර ඇය මේ වනවිට මහනුවර දිස්ත්රික්කයේ කාන්තාවන් ගණනාවකට සිය හැකියාවෙන් ප්රයෝජන ගැනීම සදහා උපදෙස් ලබාදෙන්නීය.
NDB බැංකුව සහ සිරස Newsfirst එක්ව ඉදිරිපත් කරන “වනිතාභිමානී” කාන්තා හැකියා සංවර්ධන වැඩසටහනේ මහනුවර දිස්ත්රික් සම්මාන ප්රධාන උත්සවයේ පළමු ස්ථානය මෙවර නිලුපුලී ඉදිකැටිය මහත්මියට හිමිවී තිබේ. දිවයින පුරා සෑම දිස්ත්රික්කයක්ම ආවරණය වන පරිදි දිරිය කාන්තාවන් ඇගයීම සඳහා “වනිතාභිමානී” වැඩසටහන අඛන්ඩව දියත් කිරීමට NDB බැංකුව සහ Newsfirst සූදානමින් පසුවේ.
No comments:
Post a Comment