ජනාධිපති වියත්මග කැදවයි.. රජයට සහාය වන්නැයි ඉල්ලයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 14, 2020

ජනාධිපති වියත්මග කැදවයි.. රජයට සහාය වන්නැයි ඉල්ලයි !

“වියත්මග” විවිධ ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි.

2016 වසරේ අප්‍රේල් මස ඇරඹී “වියත්මග” ක්‍රියාකාරීත්වය ජනතාවගේ දේශපාලන සමාජ චින්තනයේ ගැඹුරු වෙනසක් ඇතිකිරීමට සමත් විය.

දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම “වියත්මග” ඉදිරියේ ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු “වියත්මග” සභාපතිවරයා ලෙස 13 පස්වරුවේ ඇතුල්කෝට්ටේ වියත්මග කාර්යාලයේදී පළමු වරට සාමාජිකයන් හමුවූ ජනාධිපතිතුමා එසේ පැවසීය.

ග්‍රාමීය, නාගරික ඇතුළු සියලු ජන කොටස් ආර්ථික සහ සමාජයීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කර තිබේ. එකී අරමුණු ජයගැනීමට දායක විය හැකි ආකාරය ජනාධිපතිතුමා “වියත්මග” විධායක සභාවට පෙන්වා දුන්නේය.

උප කමිටු සකස් කර යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යාංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මග පෙන්වීමටත්, අමාත්‍යවරයා හමුවේ ඇති අභියෝගාත්මක අවස්ථාවලදී උපදෙස් දෙමින් සහාය වීමටත් හැකි බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්ෂා වන අයුරින් කරගෙන යාමට වග බලා ගත යුතු යැයිද ජනාධිපතිතුමා පැවසීය.

“වියත්මග” විධායක සභාවේදී ගත් තීරණ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන්ට පැහැදිලි කළ ජනාධිපතිතුමා ප්‍රාදේශීය මට්ටමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ හැකියාව අවධාරණය කළේය.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව කෙරෙහිද අවධානය යොමු කෙරිණ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා, සරත් වීරසේකර, සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීහූ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගල්ප්පත්ති මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය


No comments:

Post a Comment

Post Bottom Ad