Loading...
පුත්තලම දිස්ත‍්‍රික්කයේ වාණිජ බැංකු ශාඛා රැසක නීති නිලධාරිණියක් ලෙස සේවය කරමින් සිටි එම නීතිඥවරිය මේ මුදල් වංචාව පටන්ගෙන ඇත්තේ ද අද ඊයේ නොවේ. අවුරුදු දහයකට පෙර සිට ආදරණීය සැමියාගේ ද සහාය ඇතිව ගනුදෙනුකරුවන්ට ලභාංශ ලබාදෙන පොරොන්දුව මත ඉදිරි දින යෙදූ චෙක්පත් ලබාදෙමින් අති සූක්‍ෂ්ම ලෙස මුදල් ගැරීම සිදු කර ඇත. එම නීතිඥවරියගේ සැමියා රජයේ කොන්ත‍්‍රාත්කරුවකු ලෙස ක‍්‍රියාකරමින් හා පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන යමින් මෙම මූල්‍ය ගනුදෙනුවට සහාය ලබාදී ඇත. ඇති සැටියට මඩිය තර වූ පසු පසුගිය අප‍්‍රියෙල් මාසයේදී නීතිඥවරිය, ඇයගේ සැමියා සහ එකම පුතු මෙරටින් පිටව ගොස් පිටරට සැඟ වී සිටින බවට කටකතා පැතිර යයි.
නීතිඥවරිය සහ පවුලේ සාමාජිකයන්ගේ අතුරුදන්වීමත් සමඟ ඔවුන්ගේ ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කළ ගනුදෙනුකරුවන් ඉහ මොළ රත් වී ඔළු ගෙඩි කරච්චල් වී තවත් නීතිඥයන්ගේ සහාය ලබාගැනීමේ අරමුණින් කාලය කා දමන තත්ත්වයට පත්ව සිටිති. මේ දැවැන්ත මූල්‍ය වංචාවට ලක්ව ඇති පිරිස අතර වෛද්‍යවරුන්, මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ කනකර උගස් කර මුදල් ලබා දුන් විශාල පිරිසක් ද සිටිති. අගතියට පත් එම පිරිස අතරින් කිහිපදෙනෙක් මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපට ද කරුණු පැහැදිළි කළහ. නීතිඥවරිය පදිංචිව සිටි වෙන්නප්පුව බෝලවත්ත ප‍්‍රදේශයේ සුපිරි නිවස අසලම පදිංචිකරුවෙක්ද අප සමඟ කතාබහ කළේය. ඔහු වසන්තය. කෝටි එකහමාරකට ආසන්න මුදලක් නීතිඥවරියගේ ව්‍යාපරවලට අයෝජනය කළ ගනුදෙනුකරුවෙකි. වාහන සේල් එකක් පවත්වාගෙන යන ඔහු නීතිඥවරියගේ කැරැට්ටුව අපට මෙසේ විස්තර කළේය.
‘‘පුංචි කාලේ ඉඳලා ඔය නීතිඥවරිය අපි දන්නවා. අපේ අසල්වාසීන්. එයාලා, අපි හිටියේ සහෝදරයො වගෙයි. ඒ නීතිඥවරිය ප‍්‍රසිද්ධ බැංකු කිහිපයක නීති නිලධාරිණියක් විදිහට වැඩ කරපු නිසා මුළු ප‍්‍රදේශයේම හොඳ කීර්තිනාමයක් දිනාගෙන හිටියා. නීතිඥවරියගේ මහත්තයත් පළාතේ නම ගිය රජයේ කොන්ත‍්‍රාත්කාරයෙක්. හොඳට ව්‍යාපාර කරගෙන ගියා. අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා ඒ අයගේ ව්‍යාපාරවලට කෝටිපති ව්‍යාපාරිකයන් සල්ලි ආයෝජනය කරන විත්තියත් අපි දැනගෙන හිටියා. නීතිඥවරිය අපිටත් කිව්වා බැංකු පොලියට වඩා වැඩි ලාභාංශ දෙන්නම් එයාලාගේ ව්‍යාපාරවලට සල්ලි ආයෝජනය කරන්න කියලා. දෙපාරක් හිතන්නෙ නැතිව කිසිම චකිතයක් නැතිව මමයි, අපේ සහෝදරයොයි එකතු වෙලා සල්ලි දැම්මා. මාස හයක් තිස්සේ ඉඳලා වරින් වර චෙක්වලින් සහ මුදල්වලින් කෝටි එකහමාරක් විතර අපි දීලා තියෙනවා. වැඩි විශ්වාසයට ඉදිරියට දින දාලා චෙක්පත් කිහිපයකුත් නීතිඥවරිය අපිට දුන්නා. පළමු, දෙවැනි මාසවල ලාභාංශත් හරියට වේලාවට දුන්නා. අපිටත් කිසිම බයක් දැනුණේ නෑ. හිටි හැටියේ අතුරුදන් වුණාට පස්සෙ තමයි අපි රත් වෙන්න ගත්තේ...’’
‘‘අපිට මහා පරිමාණ ව්‍යාපාර නෑ. මම රට ගිහින් ඇවිත් පරණ වාහන අරගෙන විකුණගෙන ජීවත් වෙනවා. මගේ සහෝදරයොත් මහ ලොකු බිස්නස්කාරයො නෙමෙයි. පිටරටවල පොඩි, පොඩි ජොබ් කරලා කීයක් හරි එකතු කරගෙන තාම ඒ රටවලම ජොබ් කරනවා. මගේ කීමට තමයි ඒ අයත් සල්ලි එව්වේ. දැන් මට තමයි ඒවටත් වගකියන්න වෙලා තියෙන්නෙ. මගේ මුළු සේසතම නීතිඥවරියගේ බිස්නස්වලට දාලා තියෙන්නෙ. සල්ලි ටික ලැබුණේ නැති නම් මොනව කරන්නද කියලා
හිතාගන්නවත් බෑ...’’ බට්ටෝ පැනපු සන්දියේ සිට සහෝදරත්වයෙන් හිටපු අසල්වැසි නැඟණිය අයියාට කර ඇති හදිය සුළු පටු නැත. තම සන්තකයේ තිබූ සේසත පමණක් නොව සහෝදරයන්ගේ සල්ලිත් ඇදලා දීමට තරම් අයියා ‘ලෝයර් න`ගාගේ’ වහසිබස්වලට රැවටී ඇත. ලෝයර් නඟාගේ නිවස ඉදිරිපිට ගෙදර වසන්ත එසේ ඇන්දෙන විට එකම ගමේ ගාමිණී ද කෝටියකට වැඩි මුදලක් ලෝයර් නඟාට දී දැන් හූල්ලමින් සිටී. මේ ගාමිණී පීරිස් කියන කතාවය.
‘‘අපේ උළු මෝල පිටිපස්සෙ තමයි මේ අයගේ මෝල තියෙන්නෙ. නිතර දෙවේල් මූණට මුණගැහිලා කතාබහ කරනවා. ඒ අයගේ පාටිවලට අපි යනවා. අපේ පාටිවලට ඒ අය එනවා. 2011 අවුරුද්දෙදී ඔය ලෝයර්ලා පදිංචි වෙලා හිටපු නිවසත් මම සල්ලිවලට ගත්තා. මාත් එක්ක වැඩියෙන්ම ගනුදෙනු කළේ ලෝයර්ගේ මහත්තයා. ‘ගාමිණී අයියේ මගේ චෙක් එකකට සල්ලි දාන්න තියෙනවා, මට මේ ගාන දෙන්න පුළුවන්ද’ කියලා ඇහුවම කිසිම කොන්දේසියක් නැතිව ඉල්ලන මුදල දුන්නා... එතැන සිදු වුණේ ගනුදෙනුවක් නෙමෙයි, හිතවත්කමට අතමාරුවක්. 2012 අවුරුද්දේ ඉඳලා අපි හොඳට ගනුදෙනු කරගෙන ආවා. අපේ ව්‍යාපාරවල නීති කටයුතු කළෙත් ඔය නීතිඥවරිය. අපි ගන්න, විකුණන ඉඩම්වල ඔප්පු ලිව්වේ, වාහන විකුණනකොට ඒ වැඩ කළේ් ඔය නීතිඥවරිය. ඔහොම වැඩ කරගෙන යනකොට ගිය අවුරුද්දෙ මැයි මාසෙ දවසක ලෝයර් කතා කරලා ‘ගාමිණී අයියේ අපේ බිස්නස්වලට සල්ලි ටිකක් දාන්න... බැංකුවලින් දෙන පොලියට වඩා වැඩි පොලියක් අපි ඔයාට ගෙවන්නම්...’ කියලා කිව්වා. බැංකු පොලියට වඩා පොලියක් දෙනවා කිව්වම මම ඒ ගැන හිතුවා. ගමේ දන්න හඳුනන මිනිස්සු නිසා සල්ලි දෙන්න බයක් හිතුණෙත් නෑ. වාහන විකුණලා, ඉඩම් විකුණලා ලක්‍ෂ දහය, පහළොව, විස්ස විටින් විට දුන්නා. මුලදි මුලදි පොලියත් එක්ක නියම වේලාවට ඒ සල්ලි දුන්නා. අබ මල් රේණුවක තරම් බයක් දැනුණේ නෑ...’’
‘‘මගේ ඥාති පුතෙකුටත් මේ හුටපටය ආරංචි වෙලා නීතිඥවරිය ළඟ ආයෝජනය කරන්න කියලා එයත් සල්ලි ටිකක් දුන්නා. ඒ සල්ලිත් මම නීතිඥවරියට දුන්නා. මම අක්කාගේ පුතෙකුගෙන් ඉල්ලගෙන ලක්‍ෂ පනහක් දීලා තියෙනවා. තව දරුවකුගෙන් ඉල්ලගෙන ලක්‍ෂ විස්සක් දීලා තියෙනවා. මගේ සල්ලි ලක්‍ෂ හැටක් දීලා තියෙනවා. අන්තිමේ පැදුරටත් නොකියා නීතිඥවරියගේ මුළු පවුලම අතුරුදන් වුණා. දැන් අපි නන්නත්තාරයි. අවුරුදු දහසයේ ඉඳලා හම්බ කරපු සේසතම මම නීතිඥවරිය ළඟ ආයෝජනය කළා. දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නෙ උළු කර්මාන්ත ශාලාවයි. ඉන්න ගෙයයි විතරයි...’’ ගාමිණීට වයස අවුරුදු පනස් තුනකි. සමාජ තක්ෂලාවෙන් ඔහු බොහෝ දේ දැන උගත් දක්‍ෂ ව්‍යාපාරිකයෙකි. එහෙත් ඔහු ලෝයර් න`ගාගේ මායම් දැලට හරි අපූරුවට පැටලී සිටී. ඔහු පමණක් නොව අධ්‍යාපනයේ කෙළ පැමිණි වෛද්‍යවරු පවා ලෝයර් නඟාගේ සටකපට වංචනික දැලේ පැටලී සිටිති. මාරවිල මර්වින් අප්පුහාමි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ද විටින්, විට ලක්‍ෂ දෙදහක් නීතිඥවරිය ළඟ ආයෝජනය කර දැන් ඒ සල්ලි ලබාගැනීමට නඩු මගට පිවිස සිටිති. නොසිතූ ලෙස සිදු වූ දැවැන්ත වංචාව සම්බන්ධයෙන් ඔහු ද අප සමඟ කතා කළේය. මේ මර්වින් අප්පුහාමි මුළා වූ හැටිය.
‘‘මම කරන්නේ ලෑන්ඞ් සේල්. මගේ ඔප්පු තිරප්පු සේරම ලිව්වේ මේ ලෝයර්. කාලයක් ඉඳලා වැඩ කරගෙන යනකොට අපි ළඟ සල්ලි තියෙනවා කියලා දැනගත්තම අපිට කිව්වා බැංකුවලට වඩා පොලියක් දෙන්නම් අපේ ව්‍යාපාරවලට සල්ලි ආයෝජනය කරන්න කියලා. ප‍්‍රසිද්ධ බැංකු පහක, හයක නීති නිලධාරිණියක් නිසා සල්ලි ආයෝජනය කරන්න කිසිම බයක් ඇති වුණේ නෑ. අපේ පවුලේ පහළොවක් විතර ඔය ලෝයර්ට සල්ලි දීලා තියෙන්නෙ. අවුරුදු තුනක් තිස්සෙ ඉඳලා අපි ගනුදෙනු කළා. මම ලක්‍ෂ එක්දහස් පන්සීයක් විතර දීලා තියෙනවා. අපේ පවුලේ අනිත් අය තවත් ලක්‍ෂ පන්සීයක් විතර දීලා තියෙනවා. මුලදි හරියට වේලාවට අපිට ලාභාංශත් ගෙව්වා. ඒත් පහුගිය අවුරුද්ද පුරා හරියට වේලාවට අපිට පොලිය ලැබුණේ නෑ. ඒ නිසා අපිට සැකයක් ඇති වෙලා ආයෝජනය කරලා තියෙන සල්ලිවලින් කොටසක් අපි ඉල්ලූවා. ‘අද දෙන්නම්... හෙට දෙන්නම්... හස්බන්ඞ්ගේ කොන්ත‍්‍රාත් ටිකක් පාඩු වෙලා මේ දවස්වල ටිකක් හිර වෙලා ඉන්නෙ...’’ කිය, කිය ඉඳලා ජුනි මාසෙ ඒ මුදල අපිට දෙන්න පොරොන්දු වෙලා ඉඳලා තමයි හිටි හැටියේ අතුරුදන් වුණේ...’’
‘‘අපිට කියලා තිබුණේ සල්ලි අරන් තියෙන්නෙ අපෙන් විතරයි කියලා. හැමෝටම ඒ විදිහට කියලා එකසිය පනහකින් විතර සල්ලි අරගෙන. එකෙකුට එකෙක් දන්නෙ නෑ. බොහෝම සූක්‍ෂ්ම විදිහට එකිනෙකාට නොදැනෙන්න ගනුදෙනු කරලා තියෙනවා. නීතිඥවරිය වෙනම සල්ලි ණයට අරගෙන. එයාගේ මනුස්සයා වෙනම සල්ලි ණයට අරගෙන. ලෝයර් පවුල පැනලා ගියාට පස්සෙ තමයි සේරම හෙළි වුණේ. ඒත් කෝටි ගණන් සල්ලි දීපු සමහර වෛද්‍යවරු, ව්‍යාපාරිකයො වත්කම් හෙළි වෙනවට බයේ සිද්ධ වෙච්ච වංචාව සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ කතා කරන්නෙ නෑ. එක වෛද්‍යවරයෙක් මිලියන අනූවක් දීලා තියෙනවා. ඒත් ඒ සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ කතා කරන්නෙ නෑ. මම කිසිම බයක් නෑ, මට වෙච්ච අසාධාරණය ඕන තැනක කියනවා. මේ වෙනකොට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා ලක්‍ෂ එකසිය පනහක් ඉල්ලලා මාරවිල මහෙස්ත‍්‍රාත් අධිරණයේ නඩුවකුත් දාලා තියෙනවා. නීතිඥවරියට සල්ලි දුන්නු තිස්තුන්දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියෙනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරගෙන යනවා. මොකද වෙන්නෙ කියලා අපි බලාගෙන ඉන්නවා...’’
බෝලවත්තේ නීතිඥවරියක් සිදු කර ඇතැයි කියන දැවැන්ත මූල්‍ය වංචාවට ගොදුරු වූ තවත් කිහිපදෙනෙක්ම අපට කතා කර වෙච්ච ඇබැද්දිය කීහ. ඒ සියලූ දුක්ගැනවිලි මේ සටහනේ පෙළගැස්වීමට අසීරුය. එහෙයින් ප‍්‍රථමයෙන් අපිට කතා කළ පුද්ගලයන්ට ප‍්‍රමුඛස්ථානය දුන්නෙමු. සිදුව ඇති මූල්‍ය වංචාවෙන් අසාධාරණයට පත් අනෙකුත් පුද්ගලයන් කියන කතා ඉදිරි සතියකදී සටහන් තැබීම අපගේ අදහසය.
එහෙත් මේ පෙළගැසෙන කතාවට පුදුම විය යුතු නැත. මහා බැංකු මංකොල්ල කන්නේ ද මිනිසුන් මුළා කරමින් කෝටි ප‍්‍රකෝටි ගණන් වංචා කරන්නේ ද ගමේ සිරිපාලලා නොවේ. උගත් බුද්ධිමත් රටේ ප‍්‍රසිද්ධ ‘නෝනා මහත්හොරුය‘ වෙන්නප්පුවේ ‘ලෝයර් නෝනා’ ද එහෙම කෙනෙකි. එහෙයින් අම්මා, තාත්තා හෝ විකුණාගෙන මුදල් සෙවීමට පසුබට නොවන කාලකණ්ණි සිටින විපරීත සමාජයකදී බත් කන මිනිසුන් ලෙස චෙක්පතකට කෝටි ගාණක් ලබාදීමට පෙර සිය දහස් වාරයක් සිතාබැලිය යුතුය. එහෙත් දැන් සියල්ල සිදු වී හමාරය. නීතිඥවරිය මුදල් පොදි බැඳගෙන පැදුරටත් නොකියා පවුල පිටින්ම පිටරට ගොස් අවසානය.
අගතියට පත් ගනුදෙනුකරුවන් කියන විදිහට සිංගප්පූරුවේ හෝ කැනඩාවේ ඔවුන් ජීවත් වන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. එහෙයින් මෙරට නීතිගරුක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ නීතිඥ නෝනා සහ ඇයගේ සැමියා සම්බන්ධයෙන් නීතිය අකුරටම ක‍්‍රියාත්මක කර අගතියට පත් ගනුදෙනුකරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරනු ඇතැයි කියා අපගේ විශ්වාසයයි...
-දිවයින පුවත්පත
No comments:
Post a Comment