රඹුක්කන විරෝධතාව: බවුසරයකට ගිනි තැබීම වළක්වන්න අවම බලය පාවිච්චි කළ බව පොලිස්පති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 19, 2022

රඹුක්කන විරෝධතාව: බවුසරයකට ගිනි තැබීම වළක්වන්න අවම බලය පාවිච්චි කළ බව පොලිස්පති කියයි

රඹුක්කන විරෝධතාව අතරතුර පිරිසක් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සහ කිරීමේදී පොලිසියට අවම බලය භාවිත කිරීමට සිදු වූ බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පවසයි. රඹුක්කන විරෝධතාව අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

පැය 12කට අධික කාලයක් රැඳී සිටි පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරෙමින් ත්‍රිරෝද රථයටක ගිනි තැබීමට කටයුතු කර ඉන්ධන බවුසරයක් ද ගිනි තැබීමට උත්සාහ කළ බව පොලිස්පතිවරයා එහිදී පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, එම අවස්ථාවේදී ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කරන ලද අවවාද නොතකා කටයුතු කිරීම හේතුවෙන් බැටන් ප්‍රහාරයක් මගින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කටයුතු කළ ද තවදුරට ත් ඔවුන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මැඩ පැවැත්වීම සඳහා පියවර ගත් බව ය.

එහිදී පිරිසක් විසිර ගිය ද තවත් පිරිසක් කණ්ඩායම් කිහිපයකට බෙදී දුම්රිය මාර්ගයේ ඇති ගල්වලින් පොලිස් නිලධාරීන් දෙසට ප්‍රහාරයක් එල්ල කළ බව ත් එහිදී බවුසරය ගිනි ගැනීම වැළැක්වීමට ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට ද බරපතළ ප්‍රහාරයක් එල්ල කළ බව ත් පොලිස්පතිවරයා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ඔවුන්ව වටකර පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී එම අවස්ථාවට සුදුසු පරිදි අවම බලය යෙදවීමට කටයුතු කළ බව ය.

එම අවස්ථාවේදී අහසට වෙඩි තැබුව ද පිරිස පාලනය නොවුණු බව ත් එහිදී දණහිසෙන් පහළට වෙඩි තැබීමට නියෝග කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇති බව ත් පොලිස්පතිවරයා පැවසීය. 

පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, අදාළ සිද්ධියේදී පොලිස් නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කර ඇත්දැයි සොයා පොලිස් මූලස්ථානය මට්ටමින් ද විමර්ශනයක් සිදු කිරීමට කටයුතු සිදු කරන බව ය.

මේ අතර, පොලිස් නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කළා ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා තමන් විසින් මණ්ඩලයක් පත් කිරීමට පියවර ගනු ලැබ ඇති බව එම මාධ්‍ය හමුවට එක්වූ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජගත් ද අල්විස් මහතා ද පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad