සාමකාමී විරෝධතාකරුවන්ට පහර දුන් ප්‍රධාන සැකකරුවන් සහ රාජකාරිමය වශයෙන් සිද්ධිය වළක්වා නොගත් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කටයුතු කිරීම මග හරිමින් අවශේෂ පුද්ගලයන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙබිඩි පිළිවෙත කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (19) දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.
මෙම සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන ආකාරය පිළිබඳව දැඩි විවේචනයක් සහිතව දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී එම දෝෂ දර්ශනය සිදු කළේය.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න:
සාමකාමී විරෝධතාවක නිරත වූ ‘මයිනා ගෝ ගම’ සහ ‘ගෝඨා ගෝ ගම’ යන ස්ථානවලට පහර දී පුද්ගලයන්ට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ සැකකරුවන් 22 ක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබෙනවා. එම පිරිස අතර සිටින දේශබන්දු තෙන්නකෝන්ගේ රාජකාරිය පැහැර හැරීම නිසා තමයි මේ සිද්ධි දාමය ඇතිවුණේ.
මහෙස්ත්‍රාත්වරයා:
නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමුකරන ලද ලැයිස්තුවේ දේශබන්දු තෙන්නකෝන් ඉන්නවාද?
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි හිරියාගම:
ඔව් ඉන්නවා.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න:
මේ සිද්ධියට සම්බන්ධ දේශබන්දු තෙන්නකෝන් තාම රාජකාරි කරනවා. ඔහු රාජකාරි කරනකොට සාධාරණ පරීක්ෂණයක් කරන්නේ කොහොමද? මේකට පොඩි පොඩි හාල්මැස්සෝ දාලා වැඩක් නැහැ. තෝරු මෝරු ටික අල්ලන්නේ නැත්තේ ඇයි? මේ රටේ නීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
පගාවක් ගත්තත් පොඩි එකා තමයි අහුවෙන්නේ. කෝටි ප්‍රකෝටි ගණන් පගාව ගන්න එවුන් අල්ලන්නේ නැහැ.
දේශබන්දු තෙන්නකෝන් මේ සිද්ධිය වන බව දැන දැනම ‘‘උඹලා පලයල්ලා, මම මේක බලාගන්නම්’’ කියලා කියා තිබෙනවා. මීට වඩා සාක්ෂි අවශ්‍යයද? නීතිපති දෙපාර්තමේන්තුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක තේරෙන්නේ නැද්ද? සිද්ධිය වන විට කඳුළු ගෑස් ගැහුවා නම් මේක වෙන්නේ නැහැ. තරු කරේ ගහගෙන හිටියට වැඩක් නැහැ. රාජකාරිය හරියට කරන්නේ නැතිනම්. අද වනවිට කෝටි ගණනක දේපළ විනාශ වෙලා තිබෙනවා. ඒකට වගකිව යුත්තේත් මෙය වළක්වා ගැනීමට කටයුතු නොකළ දේශබන්දු තෙන්නකෝන්. මෙම සිද්ධියේ සැකකරුවකු වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්දගාමීව කරන බවක් පේනවා. හරියට මේක නිකං දියාරු කරන්න යනවා වගේ. නීතිපතිවරයා උපදෙස් ලබාදුන් ලැයිස්තුවේ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
මහෙස්ත්‍රාත්වරයා:
රාජකාරිය පැහැර හරිමින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රකාශ අරන් තිබෙනවාද?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව:
ඔව්. එලෙස ලබාගත් ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට වැඩිදුරටත් විමර්ශනය කරනවා.
මහෙස්ත්‍රාත්වරයා:
එම නිලධාරියාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔහුව අත්අඩංගුවට නොගත්තේ ඇයි? මෙම සිද්ධියට අදාළව මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අනෙකුත් සැකකරුවන් නම් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ දෙබිඩි පිළිවෙත මොකක්ද? මේක මට එක නඩුවක් විතරයි. එමනිසා මෙම විමර්ශනය විශේෂයක් කරගන්න එපා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි හිරියාගම:
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ඉතා සාධාරණ ලෙස කරනවා. ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා. මෙම සිද්ධියේදී පොලුවලින්, කඩුවලින් පහර දුන් සැකකරුවන් පිළිබඳව සැහැල්ලුවෙන් කටයුතු කරන්නේ නැහැ. මෙම සිද්ධිය නිසා රටේ ඇතිවී තිබෙන මහජන කැළඹීම කොතෙක්ද යන්න අධිකරණයට කීමට අවශ්‍ය නැහැ. විශේෂඥ දැනුම භාවිත කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය පිළිබඳව අඛණ්ඩව විමර්ශන කටයුතු සිදුකරනවා.
අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 8 දෙනකු මෙම 25 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
(අරුණ)
No comments:
Post a Comment