එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් වෙරළ පිරිසිදු කිරීමට තවත් වසර ගණනක්! වියදම බිලියනයකට ආසන්නයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 23, 2022

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් වෙරළ පිරිසිදු කිරීමට තවත් වසර ගණනක්! වියදම බිලියනයකට ආසන්නයි!

නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවතින නීති ප්‍රමාණවත් නැත්නම් ඒ සඳහා නව නීති සම්පාදනය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් දුන්නේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ හා අධිකරණ අමාත්‍යංශයේ සහය ලබාගනිමින් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිණිගෙන මුහුදු බත්වීමෙන් මෙරට මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ විනාශයන්ට අදාළ වන්දි කඩිනමින් ලබාගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය උපදෙස් දුන්නේය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය සඳහන් කළේ මෙරට මුහුදු සීමාවේදී ගිණිගෙන මුහුදුබත්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් ( M.V Express Pearl ) නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට මේ වනවිට රුපියල් නව කෝටි තිස් අටලක්ෂ පනස්හත් දහස් දෙසීය අනූ තුනක (903,857,293.01) මුදලක් වැයවී ඇති බවයි.

මුහුදුබත්වූ එම නෞකාවේ බහාලුම්වලින් නිකුත්වන ප්ලාස්ටික් හා රසායන ද්‍රව්‍යයන් ඉවත්කොට මෙරට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදුකිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇතැයි ද ඇය පැවසුවාය.

මේ වනවිට නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් පබළු හා රසායන ද්‍රව්‍යයන් මෙට්ට්‍ර්ක් ටොන් 1600 ක ප්‍රමාණයක් පමුණුගම ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් ගබඩාවල තැන්පත්කර තිබෙන බවත් නීති උපදෙස් මත ඒවා සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බවත් ඇය එහිදී සඳහන් කළාය.

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9ක් දුරින් ගිණි ගෙන මුහුදුබත් වූයේ පසුගිය වසරේ ජුනි මස 02 වැනිදාය.

නෞකාවේ ගබඩාකර තිබූ නයිට්‍ර්ක් අම්ල හේතුවෙන් මෙම ගිණි ගැනීම සිදුවූ අතර නැව මුහුදු බත්වීමට පෙර ඇතිවූ පිපිරීමක් හේතුවෙන් එහි තිබූ බහාලුම් 1486 න් යම් ප්‍රමාණයක් මුහුදට වැටුණි. මෙම බහාලුම්වල තිබූ රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් පබළු මුහුදු ජලය සමඟ මිශ්‍ර වීමෙන් මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ කිලෝමීටර 746 ක මුහුදු කලාපය සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්විය.

ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ මීගමුව කළපුව ආශ්‍රීත ප්‍රදේශයට, මීගමුව වෙරළ තීරයට සහ පමුණුගම සක්කු කන්ද වෙරළ කලාපයටය.

එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විසිරුණු අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍රවූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු පසුගිය වසරේ මැයි මස 20 වැනිදා සිට මේ දක්වා සිදු කරනු ලබයි. මේ වනවිට ස්ථාන 2723 කදී එම පිරිසිදු කිරීම් කටයුතු සිදුවන අතර එමඟින් කිලෝමීටර 746 ක දුර ප්‍රමණයක් ආවරණය කරනු ලබයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍ය ක්‍රියාවලි පීඨයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– ප්‍රදීප් අනුර කුමාර


No comments:

Post a Comment

Post Bottom Ad