09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය 24 දා අවසන් කිරීමට සූදානම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 15, 2024

09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය 24 දා අවසන් කිරීමට සූදානම්!

09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය මේ මස 24 වැනිදා  වාර අවසාන  කර යළි පෙබරවාරි මස 07 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පාර්ලිමේන්තුව මෙම මස 23 සහ 24 යන දිනවල අවසන් වරට රැස්වීමට නියමිතව තිබේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ජනවාරි 23 සහ 24 දින දෙක තුළ පැවැත්වෙනු ඇත.

මෙම මස 25 වන බ්‍රහස්පතින්දා දිනයේ පොහොය නිවාඩුව යෙදී ඇති බැවින් එම සතියේ දින දෙකක් පමණක් පාර්ලිමේන්තුව රැස්වනු වීමට නියමිතය.

ඒ අනුව 24 වනදා මධ්‍යම රාත්‍රියේ දී පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් පත්‍රය ජනාධිපතිවරයා නිකුත් කරනු ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වන අතර ඒ අනුව එම කාරක සභා සියල්ල යළි පිහිටුවීමට නියමිතව තිබේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභාව සහ විශේෂ කාරක සභා පමණක් වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි නොවන බව සඳහන්ය.

පාර්ලිමේන්තුව අවසන් වරට පසුගිය වසරේ ජනවාරි මස 27 වනදා වාර අවසාන කෙරුණු අතර එලෙස අවසන් කෙරු‍ණේ 09වන පාර්ලිමේන්තුවේ තෙවන සභා වාරයයි. – දෙරණ


No comments:

Post a Comment

Post Bottom Ad