පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ගැටුම්: රුපියල් තුන්ලක්ෂයකට අධික දේපලවලට හානි - මන්ත්‍රීවරු 59 කට චෝදනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 31, 2019

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ගැටුම්: රුපියල් තුන්ලක්ෂයකට අධික දේපලවලට හානි - මන්ත්‍රීවරු 59 කට චෝදනා

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ගැටුම්: රුපියල් තුන්ලක්ෂයකට අධික දේපලවලට හානි - මන්ත්‍රීවරු 59 කට චෝදනා

පසුගිය වසරේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල " මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් ඇති කරමින්" ඇතිවූ ගැටුම්කාරී තත්වයට සම්බන්ධ මන්ත්‍රීවරු 59 ක් පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව, ඒ සඳහා පත්කළ විමර්ශන කමිටුව කතානායකවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන්වේ.

වාර්තාවෙන් චෝදනා ලත් මන්ත්‍රීවරු කව්ද?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 කගේ,එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 4 දෙනෙකුගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුගේ නම් එම වාර්තාවේ සඳහන් වේ.

මෙම මන්ත්‍රීවරුන් 59 දෙනා අතරින් විවිධ චෝදනා යටතේ මෙම වාර්තාවේ වැඩිම වාරයක් නම සඳහන් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ගේය.

චෝදනා 12 කට ඔහුගේ නම සඳහන් වී ඇති අතර ඉන් අනතුරුව වැඩිම චෝදනා එල්ල වී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාටය.

කතානායකවරයා පත්කළ කමිටුවේ නිරීක්ෂණ අනුව, පාර්ලිමේන්තුවේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල සිදු වූ කලහකාරී සිදුවීම් සහ ඊට වගකිව යුත්තන් ලෙස කමිටුව හඳුනාගෙන ඇති බවට වාර්තාවන මන්ත්‍රීවරුන් මෙසේය;

නොවැම්බර් 15

  • කතානායකවරයාගේ මයික්‍රෆෝනය කඩා දැමීම - පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම සහ ආනන්ද අලුත්ගමගේ
  • කතානායකවරයාට ජලය ගැසීම, කුණු බාල්දියකින් දමා ගැසීම, පොතකින් දමා ගැසීම - පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ
  • කතානායකවරයාට වතුර බෝතලයකින් දමා ගැසීම - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ
  • කතානායකවරයාගේ අසුනට ජලය වත්කිරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර
  • පිහියක් වැනි යමක් අත දැරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක

නොවැම්බර් 16

  • කතානායකවරයාගේ පුටුවේ අසුන්ගැනීම - පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු
  • කතානායකවරයාගේ මේසය මත තිබු මයික්‍රෆෝනයකට හානි කිරීම, පුටුවක් පොලිස් නිලධාරීන් දෙසට විසිකිරීම, පොත් විසිකිරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු
  • පොලිස් නිලධාරීන්ට පහරදීම, ඔවුන්ට යම් දියරයක් දමා ගැසීම - පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර
  • පොලිස් නිලධාරීන් තල්ලුකර රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න
  • සෙංකෝලය තබන මේසය පෙරළා දැමීම - පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සහ රන්ජිත් සොයිසා
  • තමන්ගේ සපත්තුවෙන් යමක් ගෙන වතුර කෝප්පයක් සමග මිශ්‍ර කිරීම, ගාමිණී ජයවික්‍රම පෙරේරා හා විජිත හේරත් යන මන්ත්‍රීවරුන් දෙසට දියරයක් දමා ගැසීම - පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත

මෙම දින තුන තුළදී සිදු වූ දේපළ හානිය, බදු නොමැතිව රුපියල් 325,000ක් ලෙස තක්සේරු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇති බව ද අදාළ කමිටුව කතානායකවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad