වැරදිකාරයන්ගේ අත පය කඩන්න ආ අලූත්ම දෙවි යකෙක්,සතියක් එක්තැන් කරන්න 65,000යි,මරලම දාන්න ලක්ෂ 20යි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 4, 2020

වැරදිකාරයන්ගේ අත පය කඩන්න ආ අලූත්ම දෙවි යකෙක්,සතියක් එක්තැන් කරන්න 65,000යි,මරලම දාන්න ලක්ෂ 20යි.

* දෙවියන්ට කන්නලවු කරන්න ‘‘කපු’’ කොල්ලෙක්.
 * කපුවාට වෙනම මැර කණ්ඩායමක්
 * සතියක් එක්තැන් කරන්න රුපියල් හැටපන්දාහයි
 * මරලා දාන්න ලක්‍ෂ 20 යි

 විජේකෝන් මහතා තම ගේදොර වත්තපිටිය ඉතා පිළිවෙළට තබාගෙන සිටින්නෙකි. තම බිරිඳ සමඟ කල් ගෙවන ඔහු හැත්තෑ විය ද ඉක්ම වූවෙකි. මුළු දවල් කාලයම කය වෙහෙසවා වැඩ කිරීමත් නිසි වේලාවට ආහාර ගැනීමත් අනවශ්‍ය ආතතියක් නොතිබීමත් බොහෝවිට තම වත්තෙන්ම ලබා ගන්නා එළවළු පලතුරු අනුභවයත් කෘත‍්‍රිම ආහාර කිසිවිටෙකත් නොගැනීමත් හේතුවෙන් ඔහු ඉතා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් විය.

 විජේකෝන් මහතා හා බිරිඳ යන දෙදෙනාම රජයේ රැකියා කොට විශ‍්‍රාම ගොස් සිටින අතර සරල ජීවිතයක් ගත කරන ඔවුන්ට විශ‍්‍රාම වැටුප හොඳටම ප‍්‍රමාණවත් විය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. දෙදෙනාම ජීවත් වන්නේ විදේශවල ය.

 දිනක් උදෑසන පුවත්පත රැුගෙන ඒමට විජේකෝන් මහතා නිවසෙන් එළියට බැස ගේට්ටුව අසලට යද්දි දුටු දර්ශනයෙන් විජේකෝන් මහතා කම්පාවටත් කෝපයටත් පත් විය. ගේට්ටුව අසලින්ම කවුරුන් හෝ කුණු පාර්සලයක් ගෙනැවිත් දමා ඇත. ඒවා සුනඛයන් ඇද දැමීම නිසා ගේට්ටුව ඉදිරිපස විසිරී තිබූ අතර එය මහා අප‍්‍රසන්න දර්ශනයක් විය. යන්නට ගිය ගමන නවතා දැමූ විජේකෝන් මහතා වහා උදැල්ල හා කූඩයක් රැුගෙන විත් එම කුණු සියල්ල තමා ගෙවත්තේ කපා ඇති කුණු වලට ගෙනැවිත් දැමීය. පසුදින උදෑසන ඔහුට දක්නට ලැබුණේ කීපදෙනෙක්ම එතැනට කුණු ගෙනවිත් දමා ඇති බවයි. මින් කෝපයට පත් වූ විජේකෝන් මහතා නිවසට ගොස් විශාල අකුරෙන් ”කුණු දැමීම බල්ලන්ට පමණයි” යනුවෙන් කාඞ්බෝඞ් කැබැල්ලක ලියා එය ගේට්ටුව අසලින් එල්ලීය.

 පසුදින ගේට්ටුව අසලට ගොස් බැලූ විජේතුංග මහතාට දක්නට ලැබුණේ කුණු පාර්සල එකක් පමණි. තමාගේ උපක‍්‍රමය සාර්ථක වීම සම්බන්ධව විජේකෝන් මහතාට සතුටක් ඇති විය. එම කුණු ටික ද ගෙවත්තේ වලට ගෙනවිත් දැමූ විජේකෝන් මහතා ට පසුව දා සිට කිසිවෙක් කුණු දමා නැති බව පෙනී ගියේය. එහෙත් ඔහු එම දැන්වීම දිගටම තිබෙන්නට හැරියේය.

 සතියක් පමණ ගතවිය. ගේට්ටුව ඉදිරිපස නැවතත් කුණු පාර්සලයක් දක්නට ලැබිණ. අසල්වාසි මිතුරෙකුගෙන් මේ ගැන විමසූ විට ඔහු කියා සිටියේ කවුදෝ කොල්ලෙක් හැන්දෑවට මේ වැඬේ කරන බවයි. මං ඕකට හොඳ පාඩමක් උගන්වන්නම් යයි සිතූ විජේකෝන් මහතා එදින හැන්දෑවේ ගේට්ටුව අසල රැුකවල්ලා සිටියේය. අසල්වාසියා කියූ ලෙසටම කොණ්ඩය වවාගත් තරුණයෙක් කුණු බෑගයක් ද රැුගෙන රාත‍්‍රී 7.00 ට පමණ ඉදිරියට එනවා විජේකෝන් මහතා දුටුවේය. එක්වරම පාරට පැන්න විජේකෝන් දුටු තරුණයා වහා එතනින් දිව ගියේය. පසුවදා උදේ බලන විට විජේකෝන් මහතාට දක්නට ලැබුණේ පෙර පරිදිම ගේට්ටුව අසල තබා ඇති කුණු පාර්සලයකි.එදින රාත‍්‍රියේ ඇල්බීසියා දණ්ඩක් කඩා ගත් විජේකෝන් මහතා පාරේ අනෙක් පස සැඟව සිටියේය.

 රාත‍්‍රී හතට පමණ කලින් දින පැමිණි තරුණයා සිලි බෑගයක්ද අතැතිව එනු පෙනිණ. විජේකෝන් මහතාගේ වත්ත දෙස හොඳින් විපරම් කරමින් බියෙන් හා චකිතයෙන් යුතුව එන මෙම තරුණයා වෙත හදිසියේම කඩාපැන්න විජේකෝන් මහතා ඇල්බීසියා දණ්ඩෙන් වැරෙන් පහරක් එල්ල කළේය. එය වළක්වා ගත් තරුණයා විජේකෝන් මහතා තල්ලූ කිරීම නිසා ඔහු විසිවී ඇද වැටුණේය. තරුණයා බෑගය ද රැුෙඟන පැන දිව්වේය. ඉන් කෝපයටත් ලැජ්ජාවටත් පත් විජේකෝන් මහතා ”හොඳයි තෝ මේ නාකි මට ගැහුවා එහෙනං, තොට මං හොඳ පාඩමක් උගන්වන්නන් හිටපියකො” යැයි කියමින් නිවසට ගොස් රාත‍්‍රී ආහාරයද නොගෙන ඇඳට ගියේය.

 විජේකෝන් මහතාට මුළු රැුය පුරා නින්ද නොගියේය. කල්පනා කළේ මේ තරුණයාට පාඩමක් උගන්වන ආකාරය ගැනය. අවසානයේ මේ පිළිබඳ අසල්වාසී මිතුරා සමඟ කතා කරමි යයි සිතුවේය. පාන්දර යාමයේ ඔහුට නින්ද ගියේය.

 උදෑසන තමාගේ කොන්දත් දකුණු අතත් දැඩි ලෙස රිදුම් දුන්නද එයද නොතැකු විජේකෝන් තම අසල්වැසි මිතුරා වන හේරත් හමුවට ගොස් සියල්ල පැහැදිලි කළේය.

 ” ඕකුන් එක්ක පැටලෙන්න යන්න එපා විජේ, කව්ද දන්නෙ ඕකුන් මිනීමරුවොද කියල” හේරත් කීවේය.

 ”ඒ කියන්නෙ උන්ට ඉඩදීල අපි බලන් ඉන්න ඕන” විජේකෝන් කතා කළේ තරහෙනි.

 ” ඕකුන් මේ ළඟකදී කුලියට ගෙයක් අරගෙන ආපු එවුන් වගයක්. මේ ලේන් එකේ කෙළවර හරියෙ තමයි ඕකුන් ඉන්නෙ. අපි දන්නෙ නැහැනෙ ඕකුන් මක්කුන්ද කියල. ඒක නිසා අපි මේක පොලිසියට කියමු”හේරත් කිවේය.

 ”වැඩක් නෑ හේරා, ඕන්නං ඌට පොලිසියෙන් අවවාද කරල එවයි”. විජේකෝන්ට වුවමනා කළේ තමාට පහර දුන් එකාට ලොකු දඬුවමක් දීමටය.

 ”එහෙනං මං කියන්නං නියම වැඩක්, ඔය කටුගස්තොට පැත්තෙ තියනව දේවාලයක්. ඒ දෙයියන්ට කිව්වම අත පය කඩන එකේ ඉඳල මරණ එක වුණත් කරවන්න පුළුවන්”. හේරත් දැඩි විශ්වාසයෙන් කීවේය.

 ”අන්න නියම වැඬේ. අපි හෙටම යමු එහේ” විජේකෝන්ගේ වචනවල කෝපය මුසු සතුටක් තිබිණ.

 මිතුරන් දෙදෙනා දේවාලයට යන විට කපුවා සිටියේ දේවාලයේ මිදුල අතුගාමිනි.

 ”ආ මේ මහත්තුරු දෙන්න මොකද මේ උදෙන්ම” කපුවා ඉදල ගසකට හේත්තු කරන ගමන් ඇසුවේය.

 ”මෙන්න මේ මහත්තයට කරදර කරනව කොල්ලෙක්. පහුගිය දොහෙක ගහල තාමත් කොන්දෙ අමාරුව”. හේරත් කීවේය.

 ” ඕවට ඉඩ දෙන්න හොඳ නෑ. ඕකට මතක හිටින පාඩමක් උගන්නන්න ඕන. මහත්තයගෙ වයසවත් ඕක බලල නෑනෙ. වාඩිවෙන්න මහත්තයා”දේවාලය ඉදිරිපිට බංකුවක් පෙන්වන ගමන් කපුවාද ඉදිරියෙන් ඇති පුටුවේ ඉඳගත්තේය.

 ”දැන් අපි මොකද්ද කරන්න ඕන කපු මහත්තය” විජේකෝන් ඉදිරියට නැමී ඇසුවේය.

 ”මෙහෙමයි මහත්තය, අපේ දේවතාවුන් වහන්සේට පූජා වට්ටියක් තියල කන්නලව් කලාම ඔය කොල්ලට ඕන දඬුවමක් දෙන්න පුලූවන්, දඬුවමේ හැටියට තමයි ගාස්තුව”. කපුවා නළල රැුළි ගන්වා ඉදිරියටත් පසුපසටත් වැනෙමින් කීවේය.

 ”ඒ කිව්වේ කපු මහත්තයා” විජේකෝන් ඇසුවේය.

 ඒ කිව්වෙ මහත්තයා, සතියක් එක් තැන් කරන්න 65,000යි. මරල දමන්න ලක්ෂ 20යි. මොකද මහත්තයා මරණ දඬුවම දෙන්න පුළුවන් එක වතාවයිනේ”. කටේ තිබූ බුලත් හපය එළියට දමන ගමන් කපුවා කීවේය. තරහ කාරයෙකු මරා දමනතෙක් වෛර කිරීම ගැන කල්පනා කළ විජේකෝන් මහතාට හීන් දාඩිය දැම්මේය.

 ”අයියෝ ඔය ආත්ම ගණන් ගෙවන පව්වලට කර ගහන්න මට බෑ”. විජේකෝන් මහතාගේ කටින් කියැවුණි.

 ”එහෙම නෙමෙයි මහත්තය, ඔය නොසන්ඩාල කොල්ලට හැදෙන්නත් එක්කලා අපි පාඩමක් උගන්නමු. නැත්තං ඕකව ආයෙමත් මහත්තයට කරදර කරනව. අපි ඕකව සතියක් ගෙදර ඉන්න විදිහට වැඩ කරමු”. කපු මහතා යෝජනා කළේය. මඳ වේලාවක් කල්පනා කළ විජේකෝන් මහතා එයට කැමති විය.

 ”හොඳයි එහෙනම් මහත්තයා මට කියන්න කොල්ල කොයි හරියෙද ඉන්නෙ” කපුවා ප‍්‍රශ්න කළේය.

 ” ඕක ඉන්නේ අපේ ලේන් එකේ කෙළවර” විජේකෝන් මහතා කීවේය.

 මුවගට සිනාවක් නගා ගත් කපුවා ”මහත්තයා ඉන්න තැන මම දන්නවද අනේ”? යයි කීවේය.

 ”ඒකත් ඇත්ත. මැණික්හින්න නාරම්පනාව පාරෙ පස්වන හරස් වීදියෙ කෙළවරේම තමයි ඕකව ඉන්නේ. බොකුටු කොණ්ඩයක් තියෙන කොණ්ඩෙ වවාගත්ත කොල්ලෙක් වයස විසි පහක් තිහක් ඇති”. විජේකොන් මහතා කීවේය.

 ”මහත්තයලා සෙනසුරාද හරියටම උදේ 10 ට එන්න පොල් ගෙඩියක් යවල විස්තර හොයා ගමු. හොඳයි එහෙනම් වරද්දන්නෙම නැතුව සෙනසුරාදා එන්න. රුපියල් 10,000 ක අත්තිකාරමක් දැන් ගෙවල යන්න. මොකද මං වෙන වැඩක් දාගන්නේ නෑ, මට හරියට වැඩ එනවනෙ, ආ සෙනසුරාද එනකොට මතක ඇතිව ලෙලි ගහපු පොල් ගෙඩියකුයි පළතුරු පහක පූජා වට්ටියකුයි අරගෙන එන්න” කපුවා ගාම්භීර ලෙස කීවේය.

 සෙනසුරාදා හේරත්ගේ වැඩකට යනවා කියා සුදු පැහැති ඇඳුමින් සැරසී විජේකෝන් එළියට බැස්සේය. ඔවුන් බැංකුවට ගොස් කාඞ්පතෙන් මුදල් ද රැුගෙන පොල් ගෙඩියක් හා පූජා වට්ටියක්ද ගෙන කපුවා හමුවට පිටත්වුහ.

 හරියටම උදේ දහයට විජේකෝන් හා හේරත් දේවාලයට ලඟා විය. සුදු සරමක් හැඳ රතු සළුවක් ගෙල වටා දමා සිටි කපුවාගේ අතේ ත‍්‍රිශූලයක් විය. එදා තිබූ හිතවත්කම කපුවාගෙන් අද දර්ශනය නොවීය. බෙරයක් කරේ එල්ලා සිටි හැඩිදැඩි මිනිසෙකු ඔහු සමග විය.

 ”කට්ටිය අර ටැංකිය ගාවට ගිහිල්ලා අත් පා පිරිසුදු කරගෙන ඔය පොල්ගෙඩියයි පලතුරු වට්ටියයි අරගෙන එනවා” කපුවා නියෝග කළේය. දෙදෙනා එසේ කොට පාවහන් ගලවා දේවාලය තුළට ඇතුළු වූහ.

 අඳුරු දේවාලය තුළ දෙවියෝ තද කළු තිරයකින් මුවා කොට ඇත. බෙරකරුවා මහත් හඬින් බෙරය වයද්දී කපුවා තාලයට ස්තෝත‍්‍ර කියමින් පොල් ගෙඩිය අතට ගත්තේය.

 ”මාගේ දේවයන්වහන්ස, ඔබවහන්සේ ඉදිරියට පමුණුවා ඇති මෙම විජේකෝන් නම් නර පණුවා ට හිරිහැර කරන නොසන්ඩාලයා කවරෙක්දැයි මේ ගෙඩිය යවා අප වෙත දක්වනු මැනවි”. කියමින් පොල් ගෙඩිය වමතින් දෙවියන් දෙසට දික්කොට ඔලූව පිටුපසට හරවා දකුණු අතේ දබර ඇඟිල්ලෙන් තමාට පිටුපස ඇති යමක් පෙන්වීය. මේ නිසා විජේකෝන් හා හේරත් පිටුපස බැලූ අතර නැවත ඉදිරිය බලන විට පොල් ගෙඩිය අතුරුදහන් ව තිබිණ. ඉන්පසු මොහොතක නිශ්ශබ්දතාවයකි.

 කපුවා යළිත් ස්ත්‍රෝත‍්‍ර කියන්නට පටන් ගත්තේ තම දෑත් දෙවියන් දෙසට දිගු කරගෙනය. පුදුමයකි, සෙමෙන් සෙමෙන් අහසින් පාවී ආ පොල් ගෙඩිය කපුවාගේ දෝතට පත්විය. එය ඒ මේ අත කරකවමින් හොඳින් පරීක්ෂා කරමින් කපුවා මෙසේ අසන්නට පටන් ගත්තේය.

 ”දැන් මං අහන ප‍්‍රශ්නවලට විතරක් උත්තර දෙනවා වෙන අනං මනං ඕන නෑ හරිද”?

 ”එහෙමයි” විජේකෝන් කීවේය.

 ”මේ නරය කොණ්ඩෙ බොකුටු උස කෙට්ටු කොලූවෙක් හරිද”?

 ” එහෙමයි”

 ” මේ නරයා ඇවිදින්නේ උඩ පැන පැන අත් දෙක පැත්තට විසි කර කර ”

 ”එහෙමයි”

 ”අඳින්නෙ කොටු කොටු කමිසයක්, ඩෙනිම් කලිසමක් රබර් සෙරෙප්පු දෙකක් හරිද”?

 ”එහෙමයි”

 ”මේ නරයගෙ මූනෙ තියෙන්නෙ බයාදු පෙනුමක්”?

 ” ඒක හරියට දැක්කෙ නෑ.”

 ”මේ නරයගෙ නම ඉන්ද්‍රවිමල”

 ” ඒකත් දන්නෙ නෑ”

 ”මේ නරයා ජීවත්වන්නේ තමාගේ වාසස්ථානය තිබෙන පාරේ කෙළවරක”

 ” එහෙමයි”

 ”හරි දැන් මේ දෙන්න පළතුරු වට්ටිය මෙහෙන් තියල දේවාලයෙන් එළියට බහිනවා” කපුවාගේ සහ විජේකෝන්ගේ සංවාදයෙන් පසු කපුවා නියෝග කළේය. විජේකෝන් හා හේරත් දේවාලයෙන් එළියට බැස්සේය. තවදුරටත් ස්ත්‍රෝත‍්‍ර කී කපුවා මඳ වෙලාවකින් දේවාලයෙන් එළියට පැමිණ ”කියවෙච්ච කරුණුවලට අනුව මිනිහ හරි නේද මහත්තයා, වෙන මිනිහෙකුට දඬුවම් කළොත් අපරාදෙනෙ ඒකයි මං අහන්නේ” යැයි ඇසීය.

 ”හරියටම හරි කියවුණේ නම් මිනිහා ගැනම තමයි” විජේකෝන් කීවේය.

 ”එහෙනම් අර ඉතුරු සල්ලි 55000 ක් ගෙවන්න තියෙනවා නේද? ඒකත් අරන් ඇතුළට එන්නකෝ, කියූ කපුවා විජේකෝන් හා හේරත් සමගම යළි දේවාලය තුළට පැමිණියේය. දේවාලය තුළදී මුදල භාරගෙන එය මේසයක් මත තබා පොල් ගෙඩිය බරට තැබුවේය.

 ”දැන් අපි මහත්තයා එයාට දඬුවම් දෙන්නයි යන්නේ, සුළු සුළු තුවාල ටිකක් කරලා සතියක් ඇඳේ තියනවා එච්චරයි කරන්නේ” කියූ කපුවා බෙර හඬ මැද්දේ දේව භාෂාවෙන් දෙවියන්ට වඳිමින් යමක් ඉල්ලීය.

 ”සේරම හරි මහත්තයා දවස් තුනක් ඇතුළත කාරණා කටයුතු ඉෂ්ට වෙයි, දැන් මහත්තයල යන්න”. දෙවියන්ගේ කාරණා කටයුතු නිමා විය. දෙමිතුරෝ නිවෙස් බලා පැමිණියහ.

 කුණු ගෙනැවිත් දැමීම දිගටම සිදුවිය. ”හරි තව දවස් දෙක තුනයි නේ ඔහොම නටපං කෝ” විජේකෝන් කල්පනා කළේය. දිනක් සවස විජේකෝන් අසල තිබූ කඩයට ගොස් එද්දී ඇඟපුරා පැලැස්තර හා වෙලූම් පටි සහිත තරුණයකු ත‍්‍රිරෝද රථයක නංවා ගෙන එනු දුටුවේය. හොඳින් විපරම් කළ ඔහු ඒ අර තරුණයා බව හැඳින ගත්තේය. ත‍්‍රිරෝද රථය ආපසු පැමිණෙන තෙක් පාරේ සිටිය විජේකෝන් ”පුතා මටත් ටවුන් එකට යන්න පුලූවන්ද? යැයි අසමින් ති‍්‍රරෝද රථයට ගොඩවිය.

 ”ඔයා මේ පැත්තෙ කෙනෙක් නෙමෙයිනෙ කොහෙද මේ ගියෙ”? විජේකෝන් ඇසුවේය.

 ”අංකල් මේ පාරේ කෙළවරේම තියෙන ගෙදර, ගෙදරක් කිව්වට මේ ටකරන් ගහපු පොඩි මඩුවක්, අන්න ඒ ගෙදර කොල්ලට කවුද කට්ටියක් ගහලා, හොඳටම තුවාල වෙලා, ඉස්පිරිතාලේ ඉඳලා මං මේ ගෙදර එක්කරගෙන ගියා” පව් හරිම දුප්පත් එකෙක් මං සල්ලි ගත්තෙත් නෑ”.

 ”මිනිහට හොඳටම අමාරුද පුතා”? විජේකෝන් ඇසුවේය.

 ”තැනින් තැන තුවාල වෙලා තැල්මවල් තමයි ගොඩක් තියෙන්නෙ, සතියෙන් දෙකෙන් සනීප වෙයි” ති‍්‍රරෝද රියැදුරා කීවේය. විජේකෝන්ට කිසියම් සංවේගයක් ද දැනිණ. හේරත්ට සියල්ල පැවසූ විජේකෝන් ඉදල, උදැල්ල හා කූඩය ගෙන ගේට්ටුව අසල හොඳට පවිත‍්‍ර කළේ දැන් ‘ඉතින් ඒ කරදරෙත් ඉවරයිනෙ’ යයි සිතමිනි.

 පසුවදා උදෙන්ම විජේකෝන් ගේට්ටුව අසලට ගියේය. එතනට පෙර පරිදිම කුණු මල්ලක් දමා ගොස් තිබූ අතර විජේකෝන් වහාම හේරත් හමුවට ගියේය.

 ”බලපන්කො හේරා අදත් කුණු මල්ලක් ගෙනල්ල දාලනෙ”. ඉච්චාභංගත්වයට පත් විජේකෝන් කීවේය.

 ”මං කියන්නද උඹ ඔය ටික අදත් සුද්ද කරපන්, අද දවල් උඹයි මමයි මාරුවෙන් මාරුවට ගේට්ටුව ගාව ඉමු. රෑට අපි දෙන්නම එළිවෙනකන් හරි ඉමු” හේරත් යෝජනාවක් ගෙනාවේය.

 ”ආ..ඒක හොඳ අදහස, දෙන්නට පරණ කතාවක් කිය කිය ඉන්න බැරිය” විජේකෝන් එකඟ විය.

 දිවා කාලයේ කුණු දැමීමට කිසිවකු පැමිණියේ නැත. රාත‍්‍රියේ ගේට්ටුව අසල සිටි දෙදෙනාට විජේකෝන් බිරිඳ කෝපි ළිගැන්වූවාය. රාත‍්‍රී දහයට පමණ ඈතින් අඳුරේ කවුදෝ එනවා පෙණින. සිලි මල්ලක සද්දය අනුව එය කුණු මල්ලක් බව දෙදෙනාම තීරණය කළහ. කුණු මල්ල රැගෙන ආවේ තද කළු පැහැති බල්ලෙකි. බල්ලා ගේට්ටුව ඉදිරිපිට මල්ල දමා ආපසු යන්නට හැරුණේය. දෙදෙනාම ඌ පසුපස සෙමෙන් ගියහ. වෙන්දේසි ඉඩමේ අලූතින් තනාගෙන යන නිවස දෙසට බල්ලා ගියේය. ඒ නිවස වෙත ගිය මිතුරෝ දෙදෙන නිවසේ දොරට තට්ටු කළහ. උඩුකය නිරුවත් කොණ්ඩය ඉතා කොටට කපා ඇති කොට කලිසමක් හැඳ ගත් කළු හැඩිදැඩි මිනිසෙකු එලියට ආවේය.

 ”ඇයි! මේ ගොල්ල කව්ද? මොකටද ආවෙ? කව්ද එන්න කිව්වෙ”? ඒ මිනිසා සැරෙන් ඇසීය.

 අඩියක් පසුපසට ගත් විජේකෝන්

 ”ඇයි ඕ ගොල්ලෝ මගේ ගේට්ටුව ඉස්සරහ කුණු දාන්නේ”? යැයි ඇසීය.

 ”අපි! අපි කොහාටවත් කුණු දාන්නෙ නෑ” කළු මිනිසා ඉක්මනට උත්තර දුන්නේය.

 ”නැත්තෙ මොකද ඕගොල්ලන්ගෙ නේද අර කළු බල්ල”? විජේකෝන් කේන්තියෙන් ඇසීය.

 ”ඔව්, කළු බල්ල අපේ තමයි” කළු මිනිසා කීවේය .

 ”අන්න ඌ තමයි කුණු මල්ල ගෙනත් දාන්නෙ, අද අපේ අතටම අහුවුණා”. විජේකෝන් කීවේය.

 ”ආ.. ඒක වෙන්න ඇති, ඒකෙ වැරද්දක් නැනෙ” කළු මිනිසා අපහාස සිනහවෙන් කීවේය.

 ”වැරැුද්දක් නෑ ! වැරැුද්දක් නෑ !! අනුන්ගෙ ගේට්ටු ඉස්සරහ කුණු දමන එක වැරැුද්දක් නෙවෙයිද”? විජේකෝන් ඉවසා ගත නොහැකි කේන්තියෙන් කීවේය.

 ”එතන බෝඞ් එකක් ගහල තියෙනවනෙ බල්ලන්ට කුණු දාන්න පුළුවන් කියල, ඉතින් කොහොමද වැරැුද්දක් වෙන්නෙ”. කළු මිනිහා කට කොණකින් හිනාවෙමින් කීවේය.

 මිතුරන් දෙදෙනා කිසිවක් නොකියා ආපසු හැරුණහ.

 ”කපුවට කියල ඕකගේ හතර හන්දි කඩවන්නයි තිබුණේ” විජේකෝන් එන ගමන් කීවේය.

 ගේට්ටුව අසලට ආ විජේකෝන් බෝඞ් එක ගලවා ඉරා වත්තට දැමුවේය.

 ආයි ඔය බල්ල ආවොත් උගෙ හතර හන්දි කඩනව මම, අපි හෙට හමුවෙමු හේරා” කියූ විජේකෝන් ගෙතුලට ගියේය.

 පසු දින හේරත් හමුවූ විජේකෝන් ”අපේ අතින් ලොකු අසාධාරණයක්නේ අර කොල්ලට වුණේ හේරා, මටනං ඒ ගැන හිතට හරිම අමාරුයි”

 ”ඔය සීනි තේ කොළ ටිකක් අරන් අපි ඌව බලන්න යමු”, හේරත් යෝජනා කළේය.

 ඒ අනුව දෙදෙනා තුවාල වූ තරුණයාගේ නිවසට ගොඩවිය.

 ”මේ මහත්තුරු කවුද? තරුණයා විමසීය.

 අපි මේ අහල පහල කට්ටිය. ඔයා ගෙදර එක්කරගෙන ආ ත‍්‍රීවීල් කාරයා අපිට විස්තරේ කිව්ව. අහල පහල කෙනෙක් නිසා අපි මේ බලන්න ආවෙ” හේරත් කීවේය.

 ”මොකද ඔයාට වුණේ” විජේකෝන් ඇසීය.

 මං මඩවල ගබඩාව ?ට මුර කරන එක කරන්නෙ, එදා මං උදේ ආපහු එන්න එනකොට කව්දෝ මිනිහෙක් මගේ ඇෙඟ් බයිසිකලේ හප්පල ඌම බොරුවට වැටුණ. ඊට පස්සෙ උගෙ යාළුවො කට්ටියක් ඇවිල්ල මට ගැහුව. හැබැයි මට මතකයි උන්ගෙන් එකෙක් කලින් දවසක අපේ ගේ ගාව ඉඳගෙන මන් එන දිහා බලාගෙන හිටිය. ඌම මම නැති වෙලාවක ගබඩාවට ඇවිල්ල මගේ නමත් අහගෙන ගියාලූ. ඉස්පිරිතාලෙට පොලිසියෙන් ඇවිත් මගෙන් කට උත්තරයකුත් ගත්ත. උන් ටික අල්ලගෙනලූ. කටුගස්තොට පැත්තෙ දේවාලෙක කපුවෙකුත් මේකට සම්බන්ධයි කියන්නෙ” අනේ මං එදා එදාට සල්ලි ඉල්ලගෙන ජීවත්වන මිනිහ. මට ගහල මොනව ගන්නද? මට දුක මගේ ගෑනියි ළමයි දෙන්නයි ගැන” තරුණයාගේ ඇස් වලට කඳුළු පිරුණේය.

 ”කෝ ඒගොල්ල”? විජේකෝන් ඇසීය.

 ”ළමයි දෙන්න ඉස්කෝලෙ ගිහිං. ගෑනු එක්කෙනා ගියා මගෙ වේලපත්කඬේ බලවන්න පන්සලට. මේ දවස් මට හොඳටම අපලයි. පහුගිය දවස් දෙකක රෑ මං වැඩට යනකොට මේ පාරෙ හිටපු පිස්සෙකුත් මට ගහන්න පැන්න, මං ඒ මිනිහ තල්ලූ කරල දිව්වා. ඒ මිනිහ වැටුණ තුවාල වුණාද දන්නේ නෑ පව්”. තරුණයා කීවේය.

 ”හොඳයි මේක තියාගන්නකෝ. අපි ආයි ඔයා බලන්න එන්නං” කියූ විජේකෝන් තරුණයාගේ අතට රුපියල් තුන්දාහක් දුන්නේය. මිතුරෝ ආපසු හැරුණහ.

 කපුවාට වෙනම මැර කණ්ඩායමක් සිටී. සුළු සුළු දඬුවම් දෙන්නේ ඔවුන්ය. කෙනෙකු මරා දමන්නට කපුවා කිසි විටෙක පොරොන්දු නොවේ. පොල් ගෙඩිය අතුරුදන් වන්නේ පැමිණියවුන් අහක බලන ඇසිල්ලේ තිරය පිටුපස සැඟවී සිටින්නෙකු එය ගන්නා නිසාය. කළු නූලකින් එල්ලා ඇති වෙනත් පොල් ගෙඩියක් කප්පියක ආධාරයෙන් සෙමෙන් සෙමෙන් පහළට බැස්සවීම පෙනෙන්නේ පොල්ගෙඩිය අහසේ පාවී එන්නාක් මෙනි. එල්ලා ඇති නූල කළු පැහැ වීමත් පොල් ගෙඩියට පිටුපසින් ඇති තිරය කළු පැහැති එකක් වීමත් දේවාලය තුළ ඇති අඳුරු ස්වභාවයත් නිසා නූලක් ඇති බවක් නොපෙනේ. පුද්ගලයාගේ විස්තර ඔත්තු කාරයකු ලවා සොයාගනී. පරිස්සම් වන්න. මෙවැනි වැඩ පිළිවෙළ තවමත් රටේ පවතී.

 චිත‍්‍රාන් මොරකන්දෙ ගමගේ
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad