පිලිපීන ගෘහ සේවක සේවිකාවන්ට කුවේට් රාජ්‍යය බලා නොයන ලෙස මේ වන විට ගමන් තහනමක් පනවා තිබේ. දැනටමත් ක්වේට් තුළ සිටින පිලිපීන ජාතිකයන් සහ පුහුණු ශ්‍රමිකයන්ට පමණක් මේ ගමන් තහනම අදාළ නොවේ.
කෙසේ නමුත් මෙම තීරණය ගෙන තිබෙන්නේ ඇමරිකානු-ඉරානය අර්බුදය හේතුවෙන් නොව, Jeanelyn Villavende නමැති පිලිපීන ජාතික ගෘහ සේවිකාව කුවේට් ජාතික ගෙහිමියා විසින් පහර දී මරාදැමීමත් සමග ය.
ඇය රෝහල්ගත වීමෙන් පසු මිය ගොස් ඇති අතර, ඇයට ක්ලාන්තය හැදෙන තෙක්ම පහර දුන් බව ගෙහිමියා පිළිගෙන ඇත.
ඇයට සිදුවූ දෙයට යුක්තිය ඉටු නොවන්නේ නම්, ඉදිරියේදී කුවේට් රාජ්‍යයට ගෘහ සේවිකාවන් පමණක් නොව සෙසු වෘත්තින්වල නියැළීමට ද පිලිපීන ජාතිකයන් නොඑවන බව පිලිපීනය කියා සිටියි.
මේ වන විට කුවේට් හි පිලිපීන සේවක සේවිකාවෝ ලක්ෂ 2ක් (200,000) ජීවත් වෙති. එයින් අති බහුතරය ගෘහ සේවිකාවන් ලෙස වැඩ කරන කාන්තාවන් ය.
2018 පෙබරවාරි මාසයේදී පිලිපීන ජාතික ගෘහ සේවිකාවක් මරා දමා ඇගේ මළ සිරුර ශීතකරණයක තිබී හමුවීමේ සිද්ධියක් නිසා, ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටි මේ ආකාරයේම ගමන් තහනමක් පැනවීය.
එහි ප්‍රතිඵලයක් ලෙසට කුවේටයට පිලිපීනය සමග ගෘහස්ථ සේවකයන් නියාමනය සම්බන්ධයෙන් 2018 මැයි මාසයේ නව එකඟතාවයකට පැමිණි අතර, එයින් පසුව පමණක් එම ගමන් තහනම ඉවත් කර තිබිණි.
ලංකාව ද කුවේට් රාජ්‍යය පමණක් නොව මැදපෙරදිග රටවල් ගණනාවකට ගෘහ සේවිකාවන් යවන රටකි. ලංකාවේ දේශපාලන වේදිකාවල පවා මහත් උජාරුවෙන් කතා බස් කරන්නේ ලංකාවට විදේශ විනිමය ගෙන එන ශ්‍රමිකයන්ගෙන් අති බහුතරය ගෘහ සේවිකාවන් බවයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල දත්තවලට අනුව ලංකාවේ ලක්ෂ 5 ක කාන්තාවෝ මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලෙස සේවයේ නියුක්තව සිටිති. එයින් ලක්ෂයක්ම සිටින්නේ කුවේට් රාජ්‍යයේ ය.
ඔවුන්ට පරාල ඇණ ගැසීමේ සිට බැල්කනිවලින් තල්ලු කර මරා දැමීම දක්වා විවිධ හිංසනයන්ට ඔවුන් ගොදුරු වන අතර, මේ දක්වා කිසිදු රජයක් මෙවැනි සිදුවීම්වලදී එම රජයන් සමග ඩුටර්ටි මෙන් ‘ගණන් ඉස්සීමට‘ හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට සමත් වූයේ නැත. කුවේට් රාජ්‍යය සම්බන්ධයෙන්ම කතා කළහොත්, මේ වන විටත් කාන්තාවෝ මහත් පිරිසක් කුවේට් රාජ්‍යයේ අසරණ භාවයට පත්ව නැවත ලංකාවට පැමිණිය නොහැකිව තානාපති කාර්යාලය සහ රැකවරණ නිවෙස්වල තනි වී සුසුම් හෙළති.
එනිසා, මත්යුද්ධයක් මවා පා තමන්ගේම රටේ මිනිසුන් ඝාතනය කිරීම වැනි අවකල් ක්‍රියා කොතෙක් කළත්, මේ සිදුවීමේදී නම් පිලිපීනයේ ඩුටර්ටිගෙන් ලංකාවට ද රාජ්‍ය තාන්ත්‍රික භාවයේ කශේරුව ගැන හොඳ පාඩමක් ඉගෙන ගත හැකිය.
- අමාලි ජයවීර | අවුට්බවුන්ඩ් ටුඩේ
Thursday, January 9, 2020
ගෘහ සේවිකාවන් රට පැටවීම ගැන ඩුටර්ටේගෙන් ඉගෙන ගනිමු!
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment