කාර් විකුණන දැන්වීම් දමා ලක්‍ෂ ගණන් වංචා කළ හොර දොස්තර,සල්ලි ගත්තට පස්සේ දුරකථන අංක වැඩ නැහැ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 7, 2020

කාර් විකුණන දැන්වීම් දමා ලක්‍ෂ ගණන් වංචා කළ හොර දොස්තර,සල්ලි ගත්තට පස්සේ දුරකථන අංක වැඩ නැහැ.

 

පසුගිය දින රාජකාරි වේලාවේ පොලිස් විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති තිලක් සීී. ධනපාල මහතාට නීතිඥවරයකු දුරකථනයෙන් කතා කළේය. මේ නීතිඥවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාට කියා සිටියේ තමන් වසර ගණනක් නීතිඥ වෘත්තියේ යෙදී සිටිය ද තමන් ද වංචාකාරයකුට හසුවී ඇති බවය.


ඞී. අයි. ජී. මහත්තයා මම වික‍්‍රමසිංහ වෘත්තියෙන් නීතිඥවරයෙක්. මගේ ප‍්‍රශ්නයට මට පැමිණිලි ඉදිරිපත් කරන්න අවශ්‍යතාවක් නැහැ. ඒත් මේ වගේ පුද්ගලයෝ නිසා තවත් අහිංසක මිනිස්සු අමාරුවෙ වැටෙන්න පුළුවන්....

වික‍්‍රමසිංහ මහතා තමන්ට අත්විඳින්න සිදුවූ අකරතැබ්බය ගැන නියෝජ්‍ය පොලිස්පති තිලක් සී ධනපාල මහතා දැනුවත් කළේය. නීතිඥ වික‍්‍රමසිංහ පදිංචිව සිටියේ කොළඹට නුදුරු ප‍්‍රදේශයකය. වික‍්‍රමසිංහගේ නැගණියට මෝටර් රථයක් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් මතුව තිබුණේය. මෙවැනි කටයුතු සඳහා සිය සොහොයුරුගේ සහාය ලබා ගැනීම සාමාන්‍ය කරුණක් නිසා නැගණිය මේ මෝටර් රථය මිලදී ගැනීමේ උපකාරයද ඔහුගෙන් ඉල්ලා සිටියාය.

‘අනේ අයියේ අඩුගානට හොඳ වාහනයක් හොයලා දෙන්න. නැත්නම් දන්නවනේ අද කාලෙ කපටි වංචාකාරයො තමයි හැම තැනම ඉන්නේ.

නැගණියගේ ඉල්ලීමට එකඟවූ වික‍්‍රමසිංහ ඇයට හොඳ තත්ත්වයේ මෝටර් රථයක් සොයා දීමට උනන්දු වූයේය.

මේ අතර පුවත්පතක තිබූ වෙළෙඳ දැන්වීමක් පිළිබඳව නැගණිය වික‍්‍රමසිංහගේ අවධානය යොමු කළාය.

මේක වන් ටූ වන් කාර් එකක් දැන්වීමේ හැටියට නම් හොඳ තත්ත්වයේ තියෙනව වගේ පේනවා.

නැගණියගේ ඉල්ලීම අනුව වික‍්‍රමසිංහ වෙළෙඳ දැන්වීමේ තිබූ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තේය.

‘ඇඞ්වටීස්මන්ට් එකක් දාලා තියෙනවා. වාහනයක් විකුණන්න. අපට ඒකෙ විස්තර ටික ගන්න පුළුවන් වෙයිද?

වික‍්‍රමසිංහ මෝටර් රථයේ විස්තර විමසුවේය. දුරකථනය අනෙක්් කෙළවරෙන් කතා කළේ බොහොම වැදගත් පුද්ගලයකු- බව තේරුම් ගන්නට වික‍්‍රමසිංහට වැඩි වේලාවක් ගත වුණේ නැත.

‘‘මං ඩොක්ටර් කෙනෙක් අම්පාර දීඝවාපිය හොස්පිට්ල් එකේ වැඩ කරන්නෙ. මේක මගේ වාහනයක් ලක්‍ෂ 32 ක් විතර වටිනවා. මං 29 යකට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. දුරකථනය අනෙක් කෙළවරේ සිටි වෛද්‍යවරයා බොහොම වැදගත් පැහැදිලි හඬකින් මෝටර් රථයේ විස්තර කීවේය. ඔහුගේ කතා විලාසය පිළිබඳව වික‍්‍රමසිංහ තුළ ඇති වූයේ විශාල පැහැදීමකි.

අපට වාහනේ බලන්න පුළුවන් වෙයිද වාහනේ කොහෙද තියෙන්නේ. වික‍්‍රමසිංහ වෛද්‍යවරයාගෙන් විමසුවේය. මේකයි මිස්ටර් වික‍්‍රමසිංහ ප‍්‍රශ්නෙ මං දීඝවාපියෙ ඉන්නෙ වාහනේ තියෙන්නේ මොණරාගල අපේ මහගෙදර මේ දවස්වල මේ කොරෝනා ප‍්‍රශ්නෙ නිසා මට ගෙදර එන්න වෙලාවක් නැහැ.

වෛද්‍යවරයා තමන් මුහුණපා සිටින ගැටලූ පිළිබඳව කීවේය.

එහෙමනම් කොහොමද ඩොක්ටර් මේක අපි බලන්නේ. ඩොක්ට මොණරාගල එනකල් ඉන්න වෙයිද? වික‍්‍රමසිංහ විමසුවේය.

‘‘ඔයාට ඇත්තම කියනවා නම් මං මේ වාහනේ දෙන්නෙ වෙන වාහනයක් ගන්න. මට පර්මිට් එකක් හම්බවුණා. ඒකට වාහනයක් ගන්න හදිසියේ ඉන්නේ. ඒ නිසා මං මේ වාහනේ ලක්‍ෂ 27 කට දෙන්න කැමැතියි. දැනටමත් කීපදෙනෙක් මේක බලලා තියෙන්නේ.

වෛද්‍යවරයා මෝටර් රථය පිළිබඳව මෙන්ම එය මිලදී ගැනීමට කීපදෙනකුම ඉදිරිපත් වී සිටින බවද කීවේය. තමන්් රාජකාරියේ යෙදී සිටින බව කියමින් වෛද්‍යවරයා ඇමතුම විසන්ධි කළේය.

වෛද්‍යවරයකුට අයත් මෝටර් රථයක් නිසාම එය ඉතාම හොඳ තත්ත්වයේ ඇති බව වික‍්‍රමසිංහට පැහැදිලි විය.

වෙළෙඳපොළ වටිනාකමට වඩා රුපියල් ලක්‍ෂ 5 ක පමණ මුදලක් අඩු කිරීම විශාල වාසියක් බව වික‍්‍රමසිංහට සිතුණේය. කෙසේ හෝ මේ මෝටර් රථය මිලදී ගත යුතු බව සිතූ වික‍්‍රමසිංහ නැවතත් වෛද්‍යවරයාට ඇමතුමක් ලබා ගත්තේය.

‘‘ඩොක්ටර් සමාවෙන්න ඕනෙ ආයෙත් කරදර කරනවා. අපි කොහොමද එහෙමනම් වාහනේ බලන්න එනකල් ඒක වෙන් කරගන්නෙ. වික‍්‍රමසිංහ බොහොම ගරුසරු ඇතිව වෛද්‍යවරයාගෙන් විමසුවේය.

අද හෝ හෙට කට්ටියක් එනවා කිව්වා වාහනේට ඇඞ්වාන්ස් එකක් දෙන්න. එහෙම දුන්නොත් මට කරන්න දෙයක් නැහැ. ඔයා වාහනේ ගැන උනන්දු නම් පොඩි ඇඞ්වාන්ස් එකක් දෙන්න. එතකොට මං අර එන්න ඉන්න අය නතර කරන්නම්.... වෛද්‍යවරයා කීවේය. හොඳ තත්ත්වයේ ඇති මෝටර් රථයක් අතහැර දැමීම පසුවට සිත්තැවුලට හේතුවනු ඇතැයි වික‍්‍රමසිංහට සිතුණේය. කෙසේ හෝ මෝටර් රථය තමන් සතු කරගත යුතු බව සිතූ ඔහු වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳව විමසුවේය.

ඩොක්ටර් අපි කීයක් විතර ඇඞ්වාන්ස් කරන්න ඕනෙද? අපි කොහොමද ඒක කරන්නේ... වික‍්‍රමසිංහ විමසුවේ මෝටර් රථය මිලදී ගැනීම පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තබාගෙනය. ඔයා වාහනේ දකින්නෙත් නැතිව මාව විශ්වාස කරලනෙ මේ ඇඞ්වාන්ස් එකක් කරන්න හදන්නෙ. ඒ නිසා පොඩි ගානක් දාන්න. අපි දවස් තුන හතරකින් මේ වැඬේ ඉවර කරමු. මොකද මටත් සල්ලි හදිස්සියි ඒකයි.... වෛද්‍යවරයා කීවේය. අත්තිකාරම් මුදලක් තැන්පත් කිරීම සඳහා එක්තරා පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයක් ද වෛද්‍යවරයා වික‍්‍රමසිංහට ලබා දුන්නේය.

වික‍්‍රමසිංහ ඒ මොහොතේම මෝටර් රථයට අත්තිිකාරම් මුදලක් ලබා දීමට තීරණය කළේය. වෛද්‍යවරයා ලබා දී තිබූ බැංකුවේ ශාඛා තිබුණේ අතළොස්සකි. ඔහු ඒ ගැන ද වෛද්‍යවරයාගෙන් විමසුවේය. මිස්ටර් වික‍්‍රමසිංහ ඔය බෑන්ක් එකට ඕනම සුපර් මාර්කට් එකකින් උනත් සල්ලි දාන්න පුළුවන්. සුපර් මාර්කට් එකකට ගිහින් මට කෝල් එකක් දෙන්නකො. තව පැයකින් විතර ගන්න. මම මේ වෙලාවෙ ලෙඞ්ඩු බලනවා. වෛද්‍යවරයා තරමක කලබල ස්වරූපයකින් කීවේය. ඒ වනවිට වෛද්‍යවරයා කෙරෙහි වික‍්‍රමසිංහ තුළ විශාල පැහැදීමක් ගොඩනැඟී තිබුණේය. කවුරු උනත් හොඳ ඩොක්ටර් කෙනෙක් ඒ වගේ කෙනෙක් අඳුනගන්න ලැබෙන එකත් වාසනාවක්. වෛද්‍යවරයා කී ආකාරයට වික‍්‍රමසිංහ කොළඹට නුදුරු එක්තරා සුපිරි වෙළෙඳසලක් වෙත ගියේ ඇමතුම ලබා දී පැය දෙකකට පමණ පසුවය.

මෝටර් රථය වෙනුවෙන් රුපියල් දසදහසක අත්තිකාරම් මුදලක් යැවීම සඳහා සුපිරි වෙළෙඳසලෙන් වික‍්‍රමසිංහ විමසීමක් කළේය.

car3එහෙත් එහි සේවිකාව කියා සිටියේ අදාළ බැංකුව වෙත එම සුපිරි වෙළෙඳසලෙන් මුදල් තැන්පත් කළ නොහැකි බවය. වික‍්‍රමසිංහ ඒ මොහොතේම වෛද්‍යවරයාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය. ඩොක්ටර් මේ සුපර්මාර්කට් එකෙන් සල්ලි දාන්න බැහැනෙ. මොකද කරන්නේ වික‍්‍රමසිංහ විමසුවේය.

‘‘සමහර සුපර් මාර්කට්වලින් සල්ලි ගන්නෙ නැහැ. මම ඔයාට ෆෝන් නම්බර් එකක් දෙන්නම් ඒකට සල්ලි ඊසීකෑෂ් කරන්න. වෛද්‍යවරයා කීවේය. ඒ වනවිට වෛද්‍යවරයාගේ කතා විලාසය පිළිබඳව ඉතාම පැහැදීමකින් සිටි වික‍්‍රමසිංහ රුපියල් දස දහසක මුදලක් ඔහු ලබා දුන් ජංගම දුරකථනය හරහා ඊ සී කෑෂ් ක‍්‍රමයට යවනු ලැබුවේය.

හරි ඩොක්ටර් මං ඇඞ්වාන්ස් එක්ක දැම්මා අපිට දවසක් කියන්න අපි එන්නම්... වික‍්‍රමසිංහ කීවේය.

හරි.. හරි.. ඔයා වාහනේ ගැන සැටිස් නම් ඒක ගන්න. වාහනේ හොඳ නැති උනොත් මං ඇඞ්වාන්ස් සල්ලි ටික ආපසු දෙන්නම්...

වෛද්‍යවරයා වික‍්‍රමසිංහට කීවේය. අත්තිකාරම් මුදල් තැන්පත් කර දින දෙකක් ගත වුණේය.

වෛද්‍යවරයාගෙනුත් ඇමතුමක් ලැබුණේ නැත. ඔහු වෛද්‍යවරයාගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තේය. එය විසන්ධි කර ඇත. වික‍්‍රමසිංහට තරු පෙනුණේ ඉන්පසුවය. පැය කීපයක් තිස්සේ වෛද්‍යවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වුණේ නැත. තමන් ලෝකෝත්තර වංචාකාරයකුට හසුවී ඇති බව ඒ වනවිට වික‍්‍රමසිංහට තේරුම් ගොස් තිබුණේය. හොඳ වෙලාවට පොඩිගාණක් දැම්මේ. මේක ගැන පොලිසියේ පැමිණිලි කරන්න ගියොත් මටත් ලොකු ලැජ්ජාවක් වෙන්නෙ. එහෙම කියලා මේ වගේ හොරුන්ට මෙහෙම ජරා වැඩ කරන්න දෙන්නත් බැහැ. මේ වංචාකාරයා නිසා තව මිනිස්සු කීපදෙනෙක් අමාරුවේ වැටෙයිද? වික‍්‍රමසිංහ සිය නැගණියට කීවේය. වික‍්‍රමසිංහ මේ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස පොලිස් විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී. ධනපාල මහතාගෙන් ඉල්ලීමක් කරන්නේ ඉන්පසුවය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා වංචාකාර වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු සෙවීමේ කාර්ය ආරම්භ කළේය.

අම්පාර දීඝවාපිය රෝහලෙන් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ එවැනි වෛද්‍යවරයකු එම රෝහලේ රාජකාරි නොකරන බවයි. එයින් පැහැදිලි වූයේ මේ වංචාවට සම්බන්ධ පුද්ගලයා වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින පුද්ගලයකු බවයි. මේ අතර මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් වෙනත් පැමිණිලි තිබේද යන්න සොයා විශේෂ කාර්යාංශයේ නිලධාරීන් කොළඹ අවට පොලිස් ස්ථානවලින් සොයා බැලූහ. එහිදී අනාවරණය වූයේ අතුරුගිරිය, කොහුවල, මිනුවන්ගොඩ පොලිස් ස්ථානවලට මේ ආකාරයේ වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි කීපයක් ලැබී ඇති බවය. වික‍්‍රමසිංහ දුරකථන ඇමතුම් ලබා දුන් අංකය සහ ඊසී කෑෂ් ක‍්‍රමයට මුදල් බැර කළ දුරකථන අංකය ඔස්සේ විමර්ශනය කළ පොලිස් කණ්ඩායම එම අංක හිමියන් පිළිබඳ තොරතුරු සොයා ගත්හ.

එක් දුරකථන අංකයක හිමිකරු ගම්පහ ප‍්‍රදේශයේ සිටි අතර අනෙක් දුරකථන අංකය හිමි පුද්ගලයා පොලොන්නරුවේ පදිංචිකරුවෙකි. මේ පුද්ගලයන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් මෙම දුරකථන අංක මිලදී ගෙන නොතිබූ බව අනාවරණය විය. මේ පුද්ගලයන්ගේ හැඳුනුම්පත් පිටපත් කෙසේ හෝ ලබාගෙන ඒ මාර්ගයෙන් සිම් කාඞ්පත් මිලදී ගන්නට ඇති බවට පොලිසිය විශ්වාස කළේය. දුරකථන අංක දෙක ඔස්සේ ඇමතුම් ලබාගත් ස්ථාන සොයා පොලිසිය විමර්ශන පැවැත්වූහ. එහිදී හෙළිවූයේ මෙම දුරකථන ඇමතුම් සියල්ල ලබාදී තිබුණේ කෑගල්ල, පොල්ගහවෙල සහ පස්යාල ප‍්‍රදේශවල සිට බවය. ඊසී කෑෂ් ක‍්‍රමයට තැම්පත් කළ මුදල් ලබාගත් කොමියුනිකේෂන් මධ්‍යස්ථාන දෙකක් සොයාගත් පොලිසිය එම ස්ථානවල සීසීටීවී දර්ශන පරීක්‍ෂා කළහ.

ඊසී කෑෂ් හරහා යවනු ලැබූ මුදල් ලබා ගන්නට පැමිණෙන තරුණයා හිස්වැසුමක් සහ මුව ආවරණයක් පැළඳ සිටින බව සීසීටීවී දර්ශන ඔස්සේ සොයා ගැනීමට පොලිසිය සමත් විය. එහෙත් මුදල් ගැනීමට පැමිණෙ පුද්ගලයාගේ මුහුණ හඳුනා ගැනීමට නොහැකි වීම පොලිසිය තවත් ගැටලූවකට මැදි කළේය. පොලිසිය සිය විමර්ශන කටයුතු අතහැරියේ නැත. මේ අතර මුදල් ගැනීමට පැමිණෙන තරුණයා ඇඳ සිටි ටී ෂර්ට් එකක සටහන්ව තිබූ කායවර්ධන මධ්‍යස්ථානයක නමක් ඔස්සේ පොලිසිය විමර්ශන පැවැත්වූහ. මෙම කායවර්ධන මධ්‍යස්ථානය පිහිටා තිබුණේ කෑගල්ල ප‍්‍රදේශයේය. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දින ගණනක් තිස්සේ මේ කායවර්ධන මධ්‍යස්ථානය ආසන්නයේ රැක සිටියද තමන් සොයන සැකකාර තරුණයාගේ හැඩරුව ඇති අයකු එහි පැමිණියේ නැත. කායවර්ධන මධ්‍යස්ථානය ඔස්සේ කළ විමර්ශනය අත්හැර දැමූ පොලිසිය සැකකරුවන් කොටුකර ගැනීමට තවත් මාර්ග සොයන්නට වූහ.

car4අපිට ලැබිලා තිබෙන තොරතුරුවලට අනුව මේ ගේම් එකට සම්බන්ධ පුද්ගලයා ඉන්නේ කෑගල්ල පොල්ගහවෙල අවට. අපි මේ ඒරියා එක කවර් වෙන විදිහට තමයි මේ පරීක්‍ෂණය කරන්න ඕනේ. අපි ළඟ තිබෙන නම්බර්ස්වලින් චෙක් කරන්න මේ දවස්වල මේ සැකකකරු කා එක්කද කතා කරන්නේ කියලා බලන්න. නියෝජ්‍ය පොලිස්පති තිලක් පී. ධනපාල මහතා විමර්ශන නිලධාරීන් දැනුවත් කළේය. වික‍්‍රමසිංහ සමග සම්බන්ධතා පැවැත්වූ දුරකථන අංක ඔස්සේ දුරකථන වාර්තා ලබාගත් පොලිස් නිලධාරීන් සැකකරු දුරකථන සම්බන්ධතා පවත්වන තවත් පුද්ගලයකු හඳුනා ගත්තේය. පොලිසිය එම පුද්ගලයා සොයා ගත්තේය.

‘සර් කාර් එකක් ගන්න තමයි මමත් ඇඞ්වාන්ස් එකක් දැම්මේ. රුපියල් දහදාහක් දැම්මා. දැන් පැය කීපයකට ඉස්සර වෙලා තමයි සල්ලි දැම්මේ...’ තවත් පුද්ගලයකු මේ වංචාකරුට හසුවී ඇති බව පොලිසිය තේරුම් ගත්හ. මේ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති තිලක් පී. ධනපාල මහතා දැනුවත් කිරීමට විමර්ශන කණ්ඩායම් කටයුතු කළහ. මේ සල්ලි ඊසී කෑෂ් කළාම දවසක් යන්න ඉස්සර සල්ලි  ගන්නවා. කෑගල්ලේ ටවුන් එකෙන් තමයි දිගටම සල්ලි අරන් තිබුණේ. ඊසී කෑෂ් මාරුකරන සෙන්ටර්වලට අපේ සිවිල් නිලධාරීන් දාන්න. අපට මිනිහව හඳුනාගන්න පුළුවන් වෙයි. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කෑගල්ලේ පිහිටි ඊසී කෑෂ් මුදල් ලබා ගන්නා මධ්‍යස්ථාන සියල්ලටම සිවිල් පොලිස් නිලධාරීන් යෙදවීමට විශේෂ කාර්යාංශය කටයුතු කළේය. පොලිස් නිලධාරීන්ගේ සැලසුම සාර්ථක විය. සීසීටීවී දර්ශන ඔස්සේ හඳුනාගෙන සිටි තරුණයාගේ හැඩරුව ඇති තරුණයකු කෑගල්ල නගරයේ ඊසී කෑෂ් මුදල් ලබා ගන්නා මධ්‍යස්ථානයක් වෙත පැමිණ රුපියල් දසදහසක මුදලක් ලබා ගන්නා ආකාරය පොලිස් නිලධාරීන් නිරීක්‍ෂණය කළහ.

‘කොල්ලව මේ වෙලාවේ ගන්න එපා. මිනිහා යන්නෙ කොහෙද බලලා ෆලෝ කරන්න. සමහර විට මේ ටීම් එකේ තව කට්ටිය ඉන්න පුළුවන්...’

නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඊසී කෑෂ් මුදල් ලබාගත් තරුණයා කෑගල්ල නගරයෙන් පිටත්වී කිලෝ මීටර් දෙක තුනක දුරක් යතුරුපැදියෙන් ගොස් එක්තරා නිවසක් අසල නතර වුණේය. ලූහුබැඳ ගිය පොලිස් නිලධාරීන් තරුණයා අත්අඩංගුවට ගත්තේය. සැකකාර තරුණයා පරීක්‍ෂා කළ පොලිස් නිලධාරීන් ඊසී කෑෂ් මුදල් ලබාගත් රිසිට්පත සොයා ගත්හ. ඒ රිසිට් පතේ තිබූ දුරකථන අංකය ඇමතුම් ලබාදෙන අංකය සමග සැසඳුණේය. සිය නිවැරදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිටින බව පොලිස් නිලධාරීන්ට පැහැදිලි වූහ. උඹ දැන් අමාරුවේ වැටෙන්න එපා. ඇත්ත කියපං. එහෙම නොවුණොත් කරදර වෙන්න පුළුවන්...

පොලිස් නිලධාරීන්ගේ දීර්ඝ ප‍්‍රශ්න කිරීම් හමුවේ තරුණයා සත්‍ය හෙළිකරන්න පටන් ගත්තේය. අනේ සර් මම මේවට සම්බන්ධ නැහැ. මං ගිය අවුරුද්දේ ඕලෙවල් ලිව්වේ. අපේ අක්කා බඳින්න ඉන්න අයියා තමයි මට කියලා මේ සල්ලි ටික ගෙන්න ගත්තේ. එයා මොනවා කරනවද කියලා මං දන්නේ නැහැ...

තරුණයා පවසන්නේ සත්‍යක් බව පොලිස් නිලධාරීන්ට පැහැදිලිය. පොලිස් නිලධාරීන් තරුණයාද රැගෙන ඔහුගේ සොහොයුරිය විවාහ කර ගැනීමට සූදානම්ව සිටින පුද්ගලයා සොයා ගියේය. ඔහු සිටියේද කෑගල්ලට නුදුරු ප‍්‍රදේශයකය. සැකකරුගේ නිවස වටලා පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී ජංගම දුරකථන 8 ක් සිම් කාඞ්පත් 18 ක්, පරිගණක යන්ත‍්‍ර, ලැප්ටොප් යන්ත‍්‍ර ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොයා ගත්හ. පත්තරේට ඇඞ් එකක් දැමීමම මට කෝල් එනවා සිය ගණනක්. මං දොස්තර කෙනෙක් විදිහට කතා කළාම ගොඩක් අය මට අහුවෙනවා. පසුගිය මාසේ මම ලක්‍ෂ එකහමාරක් හෙව්වා මේ වගේ මිනිස්සුන්ව රවට්ටලා. පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ සැකකරු සියල්ල හෙළි කළේය. තිස්තුන් හැවිරිදි වියේ පසුවූ සැකකරු කාලයක් තිස්සේ මේ වංචාව කර තිබූ බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වුණේය. වෛද්‍යවරයකු ලෙස ඉතාම සිත් ගන්නා සුළු විලාශයෙන් කතා කිරීමේ හැකියාව සැකකරු සතුවිය. ප‍්‍රසිද්ධ පුවත්පත්වල දැන්වීම් පළකර වාහන විකිණීමට ඇති බව පවසා මොහු විවිධ පුද්ගලයන් සිය ගණනක් රවටා රුපියල් ලක්‍ෂ ගණනක මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි විය. මේ සම්බන්ධයෙන් විමර්ශන භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති තිලක් පී. ධනපාල මහතා කියා සිටියේ සැකකරුගේ වංචාවන්ට හසුවූ පුද්ගලයකු වෙතොත් වහාම පොලිසිය වෙත ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසය.

මෙම සැකකරු වෛද්‍යවරයෙක් විදිහට රඟපාලා තමයි මේ වංචාව කරන්නේ. ලොකු මුදලක් කාගෙන්වත් ඉල්ලන්නේ නැතුව රුපියල් විසිදහසකට අඩු මුදලක් ඇඞ්වාන්ස් විදිහට ගන්නවා. ලොකු මුදලක් ගත්තොත් මිනිස්සු පැමිණිලි කරනවා. ඒ මුදල ලබා ගන්න පස්සෙන් යනවා. ඒ නිසා තමයි මිනිහා පොඩි මුදලක් ඇඞ්වාන්ස් විදිහට ගන්නේ. මාසෙකට තිහක් හතළිහක් මිනිහගෙ ගැටේට හසුවෙනවා. සල්ලි මාරුකරන තැන්වලට කිසිම වෙලාවක මේ සැකකරු යන්නේ නැහැ. මිනිහා බඳින්න ඉන්න ගර්ල්ගේ මල්ලිව තමයි යවන්නේ. සල්ලි මාරු කළාට මිනිහටත් පොඩි ගාණක් දෙනවා. නියෝජ්‍ය පොලිස්පති තිලක් පී. ධනපාල මහතා මේ වංචාව සිදුකරන ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කරමින් කියා සිටියේය. අද අපේ රටේ වංචාකාරයන් බහුලය. විවිධ මාර්ගවලින් අහිංසක මිනිසුන් රවටා මුදල් වංචා කරන පුද්ගලයන් පිළිබඳව පොලිසිය වෙත දෛනිකව ලැබෙන පැමිණිලි අතිවිශාලය. අසීමිත ලාභයක් දෙන බව පවසා කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දෙන්නට කිසියම් පුද්ගලයකු පෙළඹෙන්නේ නම් ඒ පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුය. එසේ නොමැතිව අසීමිත ලාභය භුක්ති විඳීමට ගියහොත් ඔබට සිදුවන්නේ ද මුදල් අහිමිකරගෙන සදාකාලික සිත්තැවුල් විඳීමටය.
  -Divaina News Paper.

No comments:

Post a Comment

Post Bottom Ad