කොවිඞ් සමග ජීවත් වෙමු බැරිනම් මැරෙමු. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 7, 2020

කොවිඞ් සමග ජීවත් වෙමු බැරිනම් මැරෙමු.

 

දෙවැනි කොවිඞ් රැල්ලට වගකිවයුත්තේ ජනතාව බව ජනපති ගෝඨාභය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය. ජනපතිට කිසිදු හිරිකිතයකින් තොරව එවැන්නක් ප්‍රකාශ කළ හැකිවීම හරි පුදුමසහගතය. කොවිඞ් පළමු රැල්ල මෙන්ම දෙවැනි රැල්ලද ආණ්ඩුවේ වැරදි පිළිවෙත් නිසා සිදුවූ බව නොරහසකි. එහෙත් ජනපතිට එම අවස්ථා දෙකේදීම වරද ජනතාව පිට දමා ගැලවීමට හැකිවීම පුදුමාකාරය.

පළමු කොවිඞ් රැල්ල ඉතා සාර්ථකව අවසන් කළ ආණ්ඩුව ඉන්පසු ලෝකයාටම අඬබෙර ගැසුවේ අධි මානයෙන් පිම්ඹෙමිනි. ගෝඨා කී සැණින් කොවිඞ් පණ එපෝ කියා දුවනවා වැනි අදහසක පොහොට්ටුවේ අය මෙන්ම හැට අට ලක්ෂයක ජනතාවද විශ්වාස කළ හැඩය. කොවිඞ් ගෝඨාට භය බව ඒ අයගේ අදහස විය. ඒ නිසාම මෙරට බලධාරීන් හැසිරුණේ ඉතා ළාමක ආකාරයටය. එහෙත් කුමන වටපිටාවක වුව නැවත කොවිඞ් රටට ඇතුළු නොවන තැනට සියල්ල සිදුවිය. එහෙත් තම මැතිවරණ ව්‍යාපාරයට මුදලින් විශාල වශයෙන් උපකාර කළ ඕමාර් අෂ්රෆ්ට අයත් ඉන්දියාවේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ අය මෙරටට ගෙන්වීමේදී කිසිදු නිරෝධායන කටයුත්තක් නොකළ නිසා මේ දෙවැනි රැල්ල ඇතිවූ බව කියන්නට අද කිසිවකු නැත. එදා බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිලධාරිනියකට මුලින්ම කොවිඞ් හැදී ඇති බව සැලවීමත් සමග මාධ්‍ය කිසිදු වග විභාගයකින් තොරව ඇයගේ චරිතය විනාශ කළාය. එහෙත් ඇයට කොරෝනා ආ විදිහ හෙළිවන විට ආණ්ඩුව අග්ගලා කෑ ගොලුවෝ බවට පත් විය. තම ඉහළ ධනපති මිතුරන් ළඟ ගෝඨාභය විරුවා පොඩි දරුවකු බවට පත්විය. ඔහු ඒ වනවිටත් දෙවැනි රැල්ලට ඕනෑ පිදුරු දමා අවසන්ය. එහෙත් ආණ්ඩුව එය සතේකට මායිම් නොකර රට නොවසන බවට පුරසාරම් ඇදබාමින් විස්ස ගෙන ඒමටම වලි කෑහ.

බ්‍රැන්ඩික්ස් රැල්ල පාලනය කළ නොහැකි තැනට පත්වෙද්දී එය පෑලියගොඩ මාළු කඬේ රැල්ල බවට පෙරළී මුල් මුල් බ්‍රැන්ඩික්ස් රැල්ලක් නොවූ ගාණට දැන් සියල්ල සිදුවී ඇත. අද වන විට කොවිඞ් පොකුර හතර අත ව්‍යාප්තව ඇත්තේ පෑලියගොඩ පොකුරට මාළු විකුණන සහ මාළු කන පාපතර පිරිසකගෙනි. බ්‍රැන්ඩික්ස් පොකුර ඉබේම මිනුවන්ගොඩ පොකුර බවට පත්වී ඇත. දැන් සියල්ල සිදුවී ඇත්තේ පෑලියගොඩ පොකුරෙනි.

ජනපතිට පෑලියගොඩ පොකුරද වැදගත් නොවීය. වැදගත් වූයේ විස්සය. ඇමරිකානු ධූත පිරිසේ මෙරට සංචාරයය මේ. සියල්ල අවසන් වූ පසු කොවිඞ් සිහිවී ඇත. හදිසියේ රටේ හතර අත වසන තැනට පත්වී ඇත. ඇඳිරි නීතිය ඕනෑ වී ඇත. ආණ්ඩුවේ සියල්ල සිදුවූ පසු සියල්ල සිදුකර ගන්නා අතරේ මේ රටේ මෝඩ ජනයා කොවිඞ් රට පුරා ව්‍යාප්ත කර ඇත. ජනපතිට විස්ස සහ ඇමරිකානු පොම්පියෝ සමග ගත කරන කෙට් කාලයට ජනතාව පිස්සු නටා ඇත. පළමු රැල්ලේදී හමුදාවට පණ බයේ යට ගිය කොවිඞ් මේ වතාවේ ප්‍රභාකරන් විනාශ කළ හමුදාවටවත් අවනත නැති ගාණය. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවා ගණන් ගන්නේ නැත. ඕන පොකුරක් සුනු විසුණු කරන බව කී කමල් ගුණරත්න හොයා ගන්නත් නැතිය.

පළමු කොවිඞ් රැල්ලේදී වෙනත් රටවල ක්‍රියා කලාපයට දොස් කී පොහොට්ටු වාචාලයෝ අද ටෙලිවිෂන්වල පවා නැත. ලොව දියුණු රටවල් කොවිඞ් රෝගීන් නොසලකා හරින බවත්, ඒ අය ඔහේ මියයන බවටත් කෑමොර දුන් අය ඒකට ලංකාව ජනපති ගෝඨා යැයි කීවේ ආඩම්බරයෙනි.

අද සිදුව ඇත්තේ කුමක්ද? අද ලංකාව තුළත් කොවිඞ් රෝගීන් අතහැර දමා නැත්ද? දැන් නිසි රැකවරණය ඔවුන්ට වේද? හමුදාව කළේ ඇතිවුන් මෙන්ම නැතිවුන්ද එක ගොඬේ දමා පිස්සු නැටීමය. ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලකයෝ කොවිඞ් සමාජගත වී ඇත්ද? නැත්ද යන්නට වාද කරති. මියයන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යති. චීනයෙන් ආ වෛරසයට වඩා ඉන්දියාවෙන් ආ වෛරසය දරුණුය. එහෙත් එය ඉන්දියාව වෙනුවට බටහිර රටකට පටවන්නට ගන්නා වෙහෙස පුදුමසහගතය. මේ සියලු දෑ කරනුයේ ඕමාර් අස්රෆ් බේරා ගන්නටය. දැන් ආණ්ඩුව හත්පොළේම ගාගෙන අවසන්ය. එහෙත් ඒ කිසිවක් නොවූ ගාණට ජනපති කියනුයේ කොවිඞ් දෙවැනි පොකුරට ජනතාව වගකිවයුතු බවය. මේ රටේ ජනතාව ජනපති ගෝඨා අපහසුතාවට පත් කරන්නට මෙලෙස ක්‍රියාකිරීම අපරාධයකි. දැන්වත් ජනතාව තම වරද තේරුම් ගෙන හරක් සේ කරබාගෙන කොරෝනා සමග ජීවත් වන්නට හෝ මැරෙන්නට හිත හදාගත යුතුය. කොරෝනා චීනයෙන් ආ දෙයකි. දෙවැනි වර දුන්නේ ඉන්දියාවෙන්ය. මේ රටවල් දෙක නැතිව ලංකාවට පැවැත්මක් නැත. ගෝඨා ආණ්ඩුවට පැවැත්මක් නැත. එබැවින් ඕමාර් කළ දෙයක් නැත. සියල්ල කර ඇත්තේ ජනතාවය. විස්සත් ගොඩ දාගත් පසු ජනපතිට සත්‍ය අවබෝධ වී ඇත. ජනතාවට එය අවබෝධ නොවන බව නම් පැහැදිලිය.

-ටිරන් කුමාර බංගගමආරච්චි

උපුටාගැනිම - රාවය පුවත්පත.

No comments:

Post a Comment

Post Bottom Ad