ඇමති රුවන්ගේ තීරණයට ජනපති වැට බදී - විගස පුවත් - Vigasapuwath

Thursday, April 4, 2019

ඇමති රුවන්ගේ තීරණයට ජනපති වැට බදී

ඇමති රුවන්ගේ තීරණයට ජනපති වැට බදී

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා ගේ නම ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා විසින් යෝජනා කළද එම නම අනුමත කිරීම ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම කල් දමමින් සිටින බව වාර්තා වෙයි.

රූපවාහිනී සංස්ථා පනත අනුව එම ආයතනයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ බලය ඇත්තේ ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයාටය.

ඒ අනුව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් ශාන් විජේතුංග මහතාගේ නම රූපවාහිනී සංස්ස්ථාවේ සභාපති ධුරය සඳහා පත් කිරීමට තීරණය කර, එම නාමයෝජනාව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද රජයට අයත් ව්‍යවසායයන් හි සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම පිණිස පත් කර ඇති කමිටුව වෙත යවා ඇති අතර, ශාන් විජේතුංග මහතාගේ නම එම කමිටුව විසින්ද අනුමත කර ඇත.


එම කමිටුවෙහි සාමාජිකත්වය දරන්නේ ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙකු සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙකි.

කමිටුව විසින් අනුමත කරන ලද විට එම නම් පත්කිරීම සඳහා අමාත්‍යවරයා වෙත ආපසු එවීම සාමාන්‍ය පටිපාටිය වන නමුත්, මෙම ලිපිගොණුව ජනාධිපතිවරයා විසින් රඳවා ගෙන ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි.

ශාන් විජේතුංග මහතා ජනමාධ්‍යවේදියෙකු ලෙස මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය ක්ෂේත්‍රයන්හි වසර 29 ක අත්දැකීම ඇති ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ඔහු වර්තමානයේ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.  

රුවන් විජේවර්ධන මහතා විසින් මින් පෙර ජාතික රූපවාහිනියේ සභාපති ධුරයට නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පත්කිරීමට තීරණය කර තිබිණි. එම නාම යෝජනාවද ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් අනුමත කරනු ලැබුවද, ගුණවර්ධන මහතා එම තනතුරට පත්කිරීමට තමන් විරුද්ධ බව ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට දැනුම් දී තිබිණි. ජනමාධ්‍යවේදියෙකු වන ශාන් විජේතුංග මහතාගේ නම ඇමැතිවරයා විසින් යෝජනා කොට ඇත්තේ ඉන් අනතුරුවය.

සුදර්ශන ගුණවර්ධන මහතා ඔක්තෝබර් 27 දින දක්වා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ අතර, දින 51 ආණ්ඩු සමය තුළ ඔහු වෙනුවට වැඩ බැලීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් නාලක කලුවැව මහතා පත්කිරීමට ජනාධිපති ලේකම්වරයා කටයුතු කළේය.

ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අමාත්‍ය ධුරයට පත්වූ විගස රජයට අයත් මාධ්‍ය ආයතනවල නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර, සේවක මණ්ඩල සාමාජිකයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා කරන ලදී.

ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජේරත්න මහතාගේ විසින් කරන ලදැයි කියන දූෂණ ක්‍රියා පිළිබඳව ජාතික රූපවාහිනී කාර්ය මණ්ඩලය විසින් ඇමැතිවරයා වෙත පැමිණිලි කර තිබුණු අතර දූෂිත ක්‍රියාමාර්ග ආරක්ෂා කිරීමට රූපවාහිනී සභාපතිනි ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය ක්‍රියාකිරීම පිළිබඳවද සේවක අප්‍රසාදය පළ වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *