ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.
ඔහුට විරුද්ධව ඉදිරිපත් වී ඇති සාක්ෂි පදනම් කර ගනිමින් මෙලෙස අධි චෝදනා ගොනු කෙරෙනු ඇත.
මේ වනවිට ඩුබායි සාදයට සහභාගි වී එරට ආරක්ෂක අංශ භාරයේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබූ පුද්ගලයින්ගෙන් ලද සාක්ෂිද මෙලෙස නඩු පවරා අධි චෝදනා ගොනු කිරීමේදී විශේෂයෙන් සැලකිල්ලට ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේය.
සාක්ෂිවලට අදාළ උධෘත ගොනු ඉදිරිපත් කළ වහාම මාකඳුරේ මධූෂ්ට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයා අවධාරණය කළේය.
මේ අතර, ලබන සතිය තුළ පාතාල නායක මාකඳුරේ මධූෂ් දිවයිනට ගෙන්වා ගැනීමට ඩුබායි රජය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එමෙන්ම, මධූෂ්ට රුපියල් කෝටි 1000කට වැඩි මූල්‍යමය සහ දේපළ වත්කම් ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
මාර්තු 5 වැනිදා පානදුර - කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මධුෂ්ගේ සමීපතමයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැවුමාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණ වූ බව පොලීසිය සඳහන් කළේය.
පෙබරවාරි මස 05 වනදා ඩුබායි හි සංවිධාන කර තිබූ උපන් දින සාදයක් අතරතුර පාතාල නායක මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රූයන් ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඉන් 15 දෙනෙකු පසුව ලංකාවට පිටුවහල් කරනු ලැබීය.
ඒ අතුරෙන් රංගන ශිල්පී රයන් වැන්රූයන්, හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර, පාතාල නායක කංජිපානි ඉම්රාන් මෙන්ම පාතාල සාමාජිකයින් වන අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසු වෙති.
No comments:
Post a Comment