රියර් අද්මිරාල් ආනන්ද පීරිස් නාවික ප‍්‍රදේශයන් භාර හිටපු ආඥාපතිවරයෙක් මෙන්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකි. ත‍්‍රස්තවාදී යුද්ධයෙන් රට මුදාගැනීමට දිවි හිමියෙන් කැප වී සේවය කළ රණවිරුවෙකි. එමෙන්ම යුද ගිනි නිවී ගිය දේශයේ පන්සල් හාරසීයක් නැවත පිළිසකර කිරීමට මෙන්ම අලූතින් ඉදිකිරීමට නායකත්වය ලබා දුන් පින්සාර නිලධාරියෙකි. දැන් විශ‍්‍රාම සුවයෙන් සැඳෑ සමය ගත කරන ආනන්ද පීරිස් මහතා සටන් බිමේ කළ වික‍්‍රමාන්විතයන් ගැන අපූරු කතා මාලාවක් අපට කීවේය. ත‍්‍රාසය, භීතිය, කුතුහලය පිරුණු ඒ කතා මාලාවේ පළමු කථාංගය ලෙස ත‍්‍රස්තවාදීන්ගෙන් කොළඹ වරාය ආරක්‍ෂා කර ගත් මෙහෙයුම පසුගිය සතියක අපි ඔබට කීවෙමු. දැන් අපි ඔබට කියන්නට යන්නේ උතුරුකරයේ සටන් වැදුණු රණවිරුවන් ප‍්‍රවාහනය කළ ත‍්‍රාසජනක මුහුදු ගමන ගැනය. ඒ කතාවත් අපගේ වචනවලින් කියනවාට වඩා ආනන්ද පීරිස් මහතාගේ හඬින්ම ඇසීම ඔබට වඩාත්ම සංවේදීය. එහෙයින් මෙතැන් සිට පෙළගැසෙන්නේ හිටපු නැගෙනහිර නාවික ප‍්‍රදේශය භාර ආඥාපති ආනන්ද පීරිස් කියන කතාවය...
‘‘යුද්ධය පටන් ගත්ත කාලේ ඉඳලා උතුරට ක‍්‍රියාන්විත භට පිරිස් ප‍්‍රවාහනය කිරීමේදී විශාල ගැටලූවලට මුහුණපාන්න සිද්ධ වුණා. ඒත් ඒ ගැටලූවලට කිසිම රජයකින් පිළියම් යෙදුවේ නෑ. ගුවන් යානාවලටත් දවසකට හමුදා භටයන් තුන් හාරසීයකට වඩා ප‍්‍රවාහනය කරන්න බැරි වුණා. ඒ අතර ගිලන් වූ භට පිරිස්වලට, පවුලේ ඥාතියකු හදිසි අනතුරකට, මරණයට පත් වෙච්ච සොල්දාදුවන්ට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනයට මූලිකත්වය ලබා දුන්නා. නිවාඩු යන භට පිරිස්වලට වැඩි උනන්දුවක් දැක්වූවේ නෑ..."
‘‘භට පිරිස් ප‍්‍රවාහනය කිරීමට පහසුකම් සහිත නාවික යාත‍්‍රා තිබුණෙත් නෑ. මගී ප‍්‍රවාහනයට තිබුණු නාවික යාත‍්‍රාවලත් මූලික පහසුකම්වත් තිබුණේ නෑ. ත‍්‍රිකුණාමලයේ ඉඳලා කන්කසන්තුරේ වරායට යන්න දවස් ගණන් ගත වුණා. ඒකත් අනාරක්‍ෂිතයි. විඩාබරයි. අව්වට වේළෙනවා. වැස්සට තෙමෙනවා. පොල් පටවල යනකොට සමහර ළමයි වමනේ දාගෙන ගමනාන්තයට යන්නේ මළකඳන් ගානට. නිරෝගී සුවයට එන්න තවත් දවස් දෙකක් විතර යනවා. ඒ නිසා හමුදා භටයෝ නැවේ යන්න කැමැති වුණේ නෑ. ඒ නිසා දවස් ගණන් නිවාඩු එන, යන හමුදා භට පිරිස් සති ගණන් කඳවුරුවල රස්තියාදු වුණා. උත්සව කාලවලදී ගෙදරට යන්න බැරිව කේන්තියට පත්ව ප‍්‍රකෝපකාරී භට පිරිස් හමුදා නිලධාරීන්ට හූ කියන, බැණ අඬ ගහන තත්ත්වයට පත් වුණා. නිවාඩු අවසන් වී ක‍්‍රියාන්විත රාජකාරිවලට යන භට පිරිස් පරක්කුවීම මෙහෙයුම්වලටත් බලපෑවා. මේ ව්‍යාකූල තත්ත්වය ගැන අත්දැකීම් සහිත හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ක‍්‍රියාන්විත රාජකාරිවල නිරත වී සිටින භට පිරිස් ප‍්‍රවාහනය කරන්න ජෙට්ලයිනර් නෞකාව ගත්තා..."
‘‘2006 අවුරුද්දේ ජූලි 21 වැනිදා තමයි ප‍්‍රථම වතාවට ත‍්‍රිකුණාමලය වරායට ජෙට්ලයින්ර් නෞකාව පැමිණියේ. ජෙට්ලයිනර් ලංකාවට ගෙනාවේ ඉන්දුනීසියාවෙන් කුලී පදනම යටතේ. ඒ නෞකාවේ අණදෙන නිලධාරියා විදිහට පත් කළේ කපිතාන් කළුබෝවිල. මගීන් තුන්දාස් පන්සීයකට විතර ගමන් කරන්න පුළුවන් විශාල නැව. මුළු නැවම වායුසමීකරණය කරලා. මගීන්ට ඕන විදිහට සකස් කරගන්න පුළුවන් සුඛෝපභෝගී ආසන පහසුකම්, කෑම බීම, පුළුල් තිර රූපවාහිනි, තරුපහේ හෝටලයක ඉන්නවා වගේ තමයි. නැවේ යනවා කියලවත් දැනෙන්නෙ නෑ. ඒ තරම් සුඛෝපභෝගී නෞකාව. ජෙට්ලයිනර් ත‍්‍රිකුණාමල වරායට ඇවිත් දවස් හයකට පස්සෙ, කන්කසන්තුරය වරාය බලා පළමු ගමන් වාරය ආරම්භ කළා. තුන්වැනි වතාවට අගෝස්තු 02 වැනිදා ජෙට්ලයිනර් නෞකාව කන්කසන්තුරේ ඉඳලා ත‍්‍රිකුණාමල වරායට ගමන් කරනකොට හවස 2 ට විතර එල්.ටී.ටී.ඊ.ය ඇටෑක් කළා. ඒත් ත‍්‍රස්තවාදීන්ට නැවට කිට්ටු වෙන්නවත් බැරි වුණා. නාවික හමුදාව සතු සියලූ ශක්තිය, යුද, ගුවන් දෙන්න පුළුවන් උපරිම ආරක්‍ෂාව පිට තමයි ජෙට්ලයිනර් නෞකාව භට පිරිස් ප‍්‍රවාහනය කළේ..."
‘‘ජෙට්ලයිනර් නෞකාවට ආරක්‍ෂාව සැලසීමට ගුවන් හමුදාවේ බීච් ක‍්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානයක් ඉදිරියෙන්ම ගමන් කළා. ඊට පසුපසින් එම්.අයි. 24 වර්ගයේ හෙලිකොප්ටර් යානා හතරක් ගමන් කළා. ඒ සඳහා ගුවන් හමුදා නිලධාරීන් සහ භටයින් හැටදෙනෙකුගේ සේවය ලබා දුන්නා. ඊට අමතරව ත‍්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ දක්වා සමස්ත මුහුදු ප‍්‍රදේශයම ආවරණය වන ලෙස යුද හමුදා කාලතුවක්කු ස්ථානගත කරලා තිබුණා. ඒ සඳහා යුද හමුදාව යෙදවූ භට පිරිස එකසිය දහයයි. ත‍්‍රිකුණාමලයේ සිට ගොඩබිම ආරක්‍ෂාව සඳහා නාවික භටයන් එක්දහස් තුන්සිය පනහක් ස්ථානගත කරලා තිබුණා. ජෙට්ලයිනර් නෞකාවට ආරක්‍ෂාව සඳහා O.V.P. යාත‍්‍රා තුනක් ගමන් කළා. ජෙට්ලයිනර් නැවට ඉදිරියෙන් ඩෝරා යාත‍්‍රා විස්සක් ගමන් කළා. C.P.C. යාත‍්‍රා දෙකක්. I.P.C. යාත‍්‍රා දෙකක්. Arrow කුඩා යාත‍්‍රා 28 ක් ගමන් කළා. ෆයිබර් ග්ලාස් යාත‍්‍රා 15 ක් ගමන් කළා. ඒ නෞකා සහ යාත‍්‍රාවල සිටි නාවික නිලධාරීන් සහ නැවියන් ගණන 844 යි. ඒ අනුව එක ගමන් වාරයක ආරක්‍ෂාව සඳහා යෙද වූ සමස්ත බට පිරිස 2319 කි. නෞකා සහ යාත‍්‍රා ගණන 72 යි. මේ මෙහෙයුම් සාර්ථකව කරන්න පුළුවන් වුණේ Arrow කුඩා යාත‍්‍රාවලින්, එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාරක යාත‍්‍රා දියත් කරන ස්ථාන හඳුනාගෙන එම යාත‍්‍රාවලට ප‍්‍රහාරදීමට පුළුවන් වෙච්ච නිසයි. ජෙට්ලයිනර් භට පිරිස් ප‍්‍රවාහනය කරන දවසට අපිට වෙන කිසිම රාජකාරියක් නෑ. නෞකාව ගමනාන්තයට යන තෙක් දෙපැත්තේ ආඥාපතිවරු දෙදෙනා වගේම නාවික හමුදාපතිවරයාත් නෞකාව දිහාට ඇහැගහගෙන හිටියේ. හදවත සැහැල්ලූ කරගෙන ඇහැ පියා ගත්තේ කීයට හරි නෞකාව වරායට සේන්දු වෙලා භට පිරිස් බැහැලා ගියාට පස්සෙයි..."
‘‘මම නැෙඟනහිර නාවික ප‍්‍රදේශ භාර ආඥාපති තනතුරේ වැඩ භාරගත්තේ 2007 අවුරුද්දෙ. ඒක මගේ ජීවිතේ පැවරුණු අතිශය වගකීම් සහගත රාජකාරියක් වුණා. මඩකලපුව, වාකරේ දක්වා මුහුදුබඩ ප‍්‍රදේශය වගේම ත‍්‍රිකුණාමලය නගරයට ආරක්‍ෂාව සැපයීමේ වගකීම පැවැරිලා තිබුණේ නැෙඟනහිර නාවික ආඥාපතිවරයාට. ත‍්‍රිකුණාමලය වරාය, සමුද්‍රයීය විද්‍යායතනයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කරන්න වුණා. නෞකා සහ යාත‍්‍රා අලූත්වැඩියා කිරීමේ අංගන තිබුණේ ත‍්‍රිකුණාමලේ. දකුණේ සිට උතුරට යුද උපකරණ, ඉන්ධන, කෑම බීම සියලූ භාණ්ඩ ප‍්‍රවාහනය සහ හමුදා, පොලිස් භට පිරිස් ප‍්‍රවාහනය කරන නෞකාවලට ආරක්‍ෂාව සුරක්‍ෂිත කරන්න ඕන වුණා. සතියකට දෙවතාවක් ජෙට්ලයිනර් නෞකාව සහ සයුර නෞකාව ත‍්‍රිකුණාමල වරාය සහ කන්කසන්තුරේ වරායට භට පිරිස් ප‍්‍රවාහනය කළා. ඒ් සතියට එහා මෙහා යන භට පිරිස දහහතරදාහකට වැඩියි. මම නැගෙනහිර ආඥාපති තනතුරේ රාජකාරි කරන අතරතුර කාලේ විතරක් ජෙට්ලයින්ර් නෞකාව සහ සයුර නෞකාව ගමන් වාර සියයකට වැඩි ප‍්‍රමාණයක් භට පිරිස් ප‍්‍රවාහනය කළා. කොටි ත‍්‍රස්තවාදීනුත් උපරිම වෙර දැරුවේ භට පිරිස් ප‍්‍රවාහනය කරන ජෙට්ලයිනර් නෞකාවට පහර දෙන්න. එල්.ටී.ටී.ඊ.යත් විවිධ උපක‍්‍රම යොදමින් ජෙට්ලයිනර් නෞකාවට පහර දෙන්න උත්සාහ කළා. පස් වතාවකට එල්.ටී.ටී.ඊය ඇටෑක් කරන්න ආවා. ඒ කිසිම අවස්ථාවක නෞකාවේ අහලකටවත් එන්න දුන්නේ නෑ. කිලෝ මීටර් ගාණක් එහාදීම එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝට්ටු විනාශ කළා. එල්.ටී.ටී.ඊ ය සාර්ථක වුණා නම් විශාල භට පිරිසක් නැති වෙලා යුද්ධයත් නතර කරන්න වෙනවා. ඒත් අපි ත‍්‍රස්තවාදීන්ට ක‍්‍රියාත්මක වෙන්න ඉඩ තිබ්බේ නෑ..."
‘‘මට කලින් හිටපු නැගෙනහිර නාවික ආඥාපති අද්මිරාල් සමරතුංග සහ සමරසිංහ නැෙඟනහිර මුහුදේ උපරිම ආරක්‍ෂාව තර කරලා තිබුණේ. මට තිබුණේ ඒ ආරක්‍ෂාව ඉදිරියට පවත්වාගෙන යෑම විතරයි. ඒත් මානුෂීය මෙහෙයුමෙන් පසුබැස්ස කොටි ත‍්‍රස්තයන් 2008 අවුරුද්දේ මැයි 10 වැනිදා මරුවිකල්ලෙන් ඇවිත් ත‍්‍රිකුණාමලය වරායේ අෂ්රොෆ් ජැටියේ නතර කරලා තිබුණු නෞකාවකට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළා. මහා රෑ වතුර යටින් ඇවිත් තමයි, ප‍්‍රහාරය එල්ල කරලා තිබුණේ. උතුරට භාණ්ඩ ප‍්‍රවාහනය කරන විශාල නෞකාවක්. විශාල හානියක් වුණා. නැවේ භාගයක් වගේ ගිලූණා. ඒ සිද්ධිය වෙනකොට මම ලංකාවේ හිටියේ නෑ. පෞද්ගලික කටයුත්තකට සිංගප්පූරුවට ගිහින් හිටියේ. මම හිටියා නම් ඒ වගේ නැව් රෑට වරායේ තියාගන්නේ නෑ. ආරක්‍ෂාව සහිතව කිලෝ මීටර් තිහක්, හතළිහක් ඈත මුහුදට යවනවා. එදා ඒ නෞකාව තිබිලා තියෙන්නේ වරාය ඇතුළේ. ඒ නිසා තමයි, මරාගෙන මැරෙන කොටියට පහර දෙන්න පහසු වුණේ. ඒත් දින කිහිපයකින් නෞකාව සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරගන්න අපිට පුළුවන් වුණා. වර්තමාන නාවික හමුදාපති අද්මිරාල් පියල් සිල්වා තමයි, ඒ කටයුත්ත සාර්ථකව නිමා කළේ. ඒ සිද්ධියෙන් පස්සේ ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් පිට ත‍්‍රිකුණාමල වරායේ සමස්ත වෙරළ තීරයට එල්.ටී.ටී. කිමිදුම්කරුවන්ට කිට්ටු වෙන්න බැරි විදිහට විශේෂ ආරක්‍ෂක වළලූ පහකින් ආරක්‍ෂාව තර කළා. වරාය තුළ නාවික හමුදා කඳවුරක් ආරම්භ කළා. අනු ඛණ්ඩ පහකට බෙදලා නිලධාරීන් පස්දෙනකුට භාර දුන්නා. ඊට අමතරව කින්නියා, උප්පාරු, මුතූර්, සාම්පූර් ප‍්‍රදේශ ආවරණය වන ලෙස වෙරළ ආසන්නයේ ආරක්‍ෂක ස්ථාන අසූ තුනක් ආරම්භ කළා. එම ආරක්‍ෂක කටයුතු සඳහා නාවික භටයින් දෙදහසකට වැඩි පිරිසක් යෙදෙව්වා. බුද්ධි අංශ යෙදෙව්වා. ඒ සමඟ නැගෙනහිර මුහුදේ ආරක්‍ෂාව බොහෝ දුරට සුරක්‍ෂිත වුණා. මුහුදෙන් ඇවිත් ගහන්න බැරි තැන ඒ අවුරුද්දේම අගෝස්තු 26 වැනිදා උඩින් ඇවිත් ත‍්‍රිකුණාමල නාවික හමුදා කඳවුරට බෝම්බ දෙකක් දාලා ගියා..."
‘‘එදා මුළු දවස පුරා වැහි බීරමෙන් පිරුණු අන්ධකාර දවසක්. රෑ වෙනකොට එල්.ටී.ටී.ඊ. ගුවන් යානයක් ගුවන්ගත වුණා කියලා අපිට මැසේජ් එක ආවා. ඒත් වැහි බීරමත් එක්ක අහසෙ ගමන් කරන කිසිම දෙයක් පෙනුණේ නෑ. සද්දෙන් තමයි දැනගන්න පුළුවන්. එල්.ටී.ටී.ඊ. ගුවන් යානා එන්නෙත් ලයිට් නිවාගෙන. බෝම්බ දානකම් අපි දන්නෙ නෑ. කෑම්ප් එක ඇතුළේ තැන් දෙකකට බෝම්බ දෙකක් දැම්මා. මගේ නිල නිවසට මීටර් පනහක් විතර එහායින් වැටුණු බෝම්බයෙන් තමයි ගොඩක් හානි වුණේ. එතැන කොල්ලො හත්දෙනෙක් නැති වුණා. අනිත් බෝම්බයෙන් බිල්ඩිමකට හානි වුණා විතරයි. ඊට පස්සෙ අපි සද්දෙට ඇටෑක් කළා. ඒත් කුරුම්බැට්ටි මැෂිම බිම දාගන්න බැරි වුණා. කළුවරේම උන් ගියා. එදා අපිට ප‍්‍රහාර දෙන්න පුළුවන් වුණේ අන්ධකාර දවසක් නිසා. එහෙම නොවෙන්න එළිපිට ඇවිත් කිසිම දවසක ත‍්‍රිකුණාමලය වරායට, නාවික හමුදා කඳවුරට ප‍්‍රහාර දෙන්න බැරි වුණා. ඒ තරමට ආරක්‍ෂාව තර කරලා තිබුණේ. ඒ සඳහා අපිට අවශ්‍ය අවි, ආයුධ ඉල්ලන සුනංගුවට දුන්නා..."
හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා නිතරම වගේ ත‍්‍රිකුණාමලය වරායේ ආරක්‍ෂාව ගැන සෝදිසි කළා. මාසෙකට වතාවක් ප‍්‍රදේශීය ආඥාපතිවරුන් සියලූදෙනා කොළඹ අරලියගහ මන්දිරයට ගෙන්වා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා පවතින ආරක්‍ෂක තත්ත්වය ගැන කරුණු විමසුවා. සොල්දාදුවන්ට තියෙන ගැටලූ ගැන සාකච්ඡා කළා. ඒ ගැටලූවලට ඒ මොහොතේම පිළියම් ලබා දුන්නා. රණවිරුවන්ට දෙන්න පුළුවන් උපරිම පහසුකම් සහ දීමනා ලබාදුන්නා. පෝෂ්‍යදායී ආහාර වේලක්, සනීපාරක්‍ෂක පහසුකම් උපරිමයෙන් ලබා දුන්නා. ජෙට්ලයිනර් නෞකාවේ පැමිණීමත් එක්ක ක‍්‍රියාන්විත භට පිරිස්වලට නිවාඩු කාලය උපරිමයෙන් විඳින්න පුළුවන් වුණා. නියම වේලාවට ක‍්‍රියාන්විත රාජකාරිවලට වාර්තා කරන්න පුළුවන් වුණා. සමාජය තුළ රණවිරු පවුල්වලට අභිමානය ලබා දුන්නා. ඒ සමඟ රණවිරුවන් තුළ විශාල පිබිදීමක් ඇති වුණා. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් වුණේ රණවිරුවන් තුළ ඇති වූ ඒ පිබිදීම නිසයි..."
No comments:
Post a Comment