එදා නිහඬව සිටි සජිත් අද එම්සීසී ගිවිසුම ගැන කියන කතාවලින් එජාපයේ සදාචාරය හෙළිවෙනවා. - විගස පුවත් - Vigasapuwath

Sunday, January 19, 2020

එදා නිහඬව සිටි සජිත් අද එම්සීසී ගිවිසුම ගැන කියන කතාවලින් එජාපයේ සදාචාරය හෙළිවෙනවා.

යහපාලන ආණ්ඩුවේ ප‍්‍රධාන කැබිනට් මණ්ඩල සාමාජිකයකු වූ වත්මන් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එම ආණ්ඩුව විසින් එම්.සී.සී. ගිවිසුම ගෙන එන විට සම්පූර්ණයෙන්ම නිහඬව සිට දැන් කරන කතාවලින් සිය දේශපාලන සදාචාරය කෙබඳුදැයි පැහැදිලි වන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 එම නිවේදනය මෙසේය.

 එක්සත් ජාතික පක්‍ෂයේ නව විපක්‍ෂ නායකවරයාත්, එජාප මන්තී‍්‍රවරුනුත් දැන් නිතරම එම්.සී.සී. ගිවිසුම ගැන කතා කරති. එම්.සී.සී. ගිවිසුම ඉරා දැමිය යුතු බවත්, එම ගිවිසුම කි‍්‍රයාත්මක කිරීමට ඉඩ නොතබන බවත්, නව විපක්‍ෂ නායකවරයා ප‍්‍රසිද්ධ වේදිකාවේ කියයි. පසුගිය සතියේ එක්සත් ජාතික පක්‍ෂ, විපක්‍ෂ නායකවරයා අතිපූජනීය මහ නාහිමිවරුන් ඉදිරියේ එම්.සී.සී. ගිවිසුම ඉරා දැමිය යුතු බව කියා සිටියේය. එජාපයේ සෙසු මන්තී‍්‍රවරුන්ද ඊට සමාන ප‍්‍රකාශ කරමින් සිටී. මේ ප‍්‍රකාශ අසා මම මවිතයට පත්වුණෙමි. වර්තමාන විපක්‍ෂ නායකවරයා මීට සති කිහිපයකට පෙර එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් එජාප කැබිනට් මණ්ඩලයේ ප‍්‍රබල සාමාජිකයකු විය. ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී එම එජාප කැබිනට් මණ්ඩලය එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට නිල වශයෙන්ම තීන්දු කළේය. එම ගිවිසුම ජනාධිපතිවරණයට කලින් අත්සන් කරන බවත් එජාප අග‍්‍රාමාත්‍යවරයා මාධ්‍යයට පවසා සිටියේය.

 එම අවස්ථාවේදී විපක්‍ෂ නායකවරයාව සිටි මම, ලිඛිත නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවට තරයේ පවසා සිිටියේ පාර්ලිමේන්තුවට නොදන්වා, ජනතාවටත් මේ ගිවිසුමේ අන්තර්ගතය හෙළි නොකර, කිසිසේත්ම මෙය අත්සන් නොකළ යුතු බවයි. තවද ජනාධිපතිවරණයට දින ගණනක් තිබියදී මේ ආකාරයට විදේශීය රටක් සමග ගිවිසුමක් කඩිමුඩියේ අත්සන් කිරීම සදාචාර සම්පන්න නොවන බවද මම ඔවුන්ට පෙන්වා දුන්නෙමි. එම්.සී.සී. ගිවිසුම ගැන තීන්දුවක් ගැනීම ජනාධිපතිවරණයෙන් පසුව, ජනවරම ලැබූ පාර්ශ්වය සිදුකළ යුතු බවද මම අවධාරණය කළෙමි. ඒ අවස්ථාවේදී එජාපයේ නියෝජ්‍ය නායකයා හා ප‍්‍රධාන කැබිනට් මණ්ඩල සාමාජිකයකු වූ වත්මන් විපක්‍ෂ නායකවරයා සිටියේ සම්පූර්ණයෙන්ම නිහඬවය. එජාපයේ ජනාධිපති අපේක්‍ෂකයා වූ ඔහු අඩුම වශයෙන් ජනාධිපතිවරණ වේදිකාවේදීවත් එම්.සී.සී. ගිවිසුම ගැන වචනයක්වත් කියනු අපි අසා නැත.

 තමන්ගේ ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුම පාර්ලිමේන්තුවටත්, ජනතාවටත්, වසන් කර කඩිමුඩියේ අත්සන් කිරීමට සැරසෙද්දී වචනයකින්වත් එම කි‍්‍රයාදාමයට එරෙහි නොවී සිටි වත්මන් විපක්‍ෂ නායකවරයා, අලූතින් පත්වූ ආණ්ඩුවට එම්.සී.සී. ගිවිසුම ගැන දැනමුතුකම් කියමින් රට වටේම යයි. දේශපාලනයේදී අවම සදාචාරයක්වත් තිබිය යුතුය. එජාප ආණ්ඩුව ජනාධිපතිවරණයට දවස් ගණනක් තිබියදී අත්තනෝමතික ආකාරයට මේ ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ එය වැළැක්වීමට උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට උපවාස කිරීමට සිදුවූ හැටි අපට මතකය. එජාපය තුළ සිටින වත්මන් විපක්‍ෂ නායකවරයාගේ පාර්ශ්වයේ ප‍්‍රබලම නායකයකු වන මංගල සමරවීර හිටපු මුදල් ඇමැතිවරයාත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවටත්, ජනතාවටත්, වසන් කර කඩිමුඩියේ අත්සන් කිරීමට පක්‍ෂ විය. එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් එජාපයේ කල්ලි දෙකම හිටියේ එකම ස්ථාවරයකය.

 ඒ සියල්ල ජනතාවට අමතක වී ඇතැයි සිතා එම්.සී.සී. ගිවිසුම ගැන එජාප විපක්‍ෂ නායකවරයා දැන් කරන කතාවලින් ඔවුන්ගේ දේශපාලන සදාචාරය කෙබඳුදැයි ජනතාවට පැහැදිලි විය යුතුය. එජාප කැබිනට් මණ්ඩලය විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ අනුමත කරපු එම්.සී.සී. ගිවිසුමේ අන්තර්ගතය හදාරා බලා වාර්තා කිරීම පිණිස ජනාධිපතිතුමා විද්වත් කමිටුවක් පත්කොට ඇත. එම කමිටුවේ වාර්තාව සලකා බලා මේ සම්බන්ධයෙන් ගන්න පියවර කුමක්දැයි කැබිනට් මණ්ඩලය ඉදිරියේදී පාර්ලිමේන්තුවත් මහජනතාවත් දැනුවත් කිරීමට පියවර ගනු ඇත. අපේ ආණ්ඩුව මොනව හේතුවකටවත් මේ වගේ ගිවිසුම් පාර්ලිමේන්තුවටත්, ජනතාවටත්, හොරෙන් අත්සන් කරන්නේ නැත. අපේ ආණ්ඩුව රටට අහිතකර කිසිදු ගිවිසුමකට අත්සන් කරන්නේත් නැත. එජාපය ප‍්‍රමුඛ පාර්ශ්වයත්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ආණ්ඩුවත් අතර ඇති වෙනස එයයි.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *