ටියුෂන් ‘පොරවල්වලට’ සහ දොස්තර ‘වැඞ්ඩන්ට’ අතහිත දෙන දෙමාපියෝ. - විගස පුවත් - Vigasapuwath

Sunday, January 19, 2020

ටියුෂන් ‘පොරවල්වලට’ සහ දොස්තර ‘වැඞ්ඩන්ට’ අතහිත දෙන දෙමාපියෝ.

ගුරුවරයකුගේ මාසික පංති ගාස්තු කතා කරන එවුන් දොස්තරගේ විනාඩියක චැනල් ගාස්තු දැක්කේ නැද්ද කියා ෆේස්බුක් සමාජ ජාලයේ තිබූ ප‍්‍රකාශයක් දුටු විට එහි කෙතරම් ගැඹුරු අර්ථයක් තිබෙනවා දැයි කියා සොයා බලන්නට සිතුනි.

 වර්තමානයේ පවතින තරගකාරී විභාග අධ්‍යාපන රටාව නිසා දරුවන් තුළ විභාග භීතිකාවකුත් දෙමාපියන් තුළ ආර්ථික භීතිකාවකුත් මතුව ඇත.

 වැලිපිල්ලේ අකුරු කළ අතීත දරුවා තම දූ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ආරම්භ කරන්නේ පෙර පාසලිනි. පෙර පාසලූත් දැන් නිකම්ම නිකන් පෙර පාසල් නොව ජාත්‍යන්තර පෙර පාසල් බවට පත්ව ඇත.

 සිංහලත් බැරි ඉංගී‍්‍රසිත් කොහොමටත් බැරි සිංගිලිස් තරුණියෝ පෙර පාසල් ගුරුවරියන් බවට පත්ව දරුවන්ට අකුරු උගන්වති.

 දෙමාපියන්ට එම ගුරුවරියන්ගේ තරම වැටහීදෝ පෙර පාසල් යන අතරම තම දරුවා ටියුෂන් පන්ති වෙත රැුගෙන යති. සෙල්ලම් වයසේ සිිටින දරුවාට පෙර පාසලේ සිටම ඉගෙනුම එපා කරවමින් දෙමාපියෝ තමාට සමත්වීමට නොහැකි වූ විභාග වලින් තම දරුවා හෝ සමත් කර ගැනීමේ පරම පවිත‍්‍ර අරමුණින් මෙලෙස දරුවාට දසවධ දෙති. මෙහිදී විශේෂයෙන් පැවසිය යුත්තේ මෙම දසවධ දීමේ කි‍්‍රයාවේ පෙරමුණ ගෙන සිටින්නේ තාත්තලා නොව අම්මලා බවය.

 මෙලෙස ආරම්භ වන ටියුෂන් ගමන කෙළවර වෙන්නේ උසස් පෙළ විභාගය ගත් පසුය. වර්තමානයේ මහත් ආන්දෝලනයට ලක්ව ඇත්තේද උසස් පෙළ ටියුෂන් ගාස්තුය. විi සහ ගණිත අංශයේ විෂයන් සඳහා සාමාන්‍ය පන්ති ගාස්තු රුපියල් දෙදහසත් දෙදහස් පන්සියයත් අතරය.

 වානිජ සහ කලා අංශයේ විෂයන් සඳහා සාමාන්‍ය පන්ති ගාස්තු රුපියල් එක්දහස් පන්සියයත් දෙදහසක් අතර වෙයි. උසස් පෙළ විභාගය ළන්වන විට රිවිෂන් පන්තිය. එයට එක්දිනකට රුපියල් දහසකි. මෙම උසස් පෙළ ටියුෂන් ගුරුවරුන් පාසල් දරුවන් අතර අසීමිත ජනපි‍්‍රයත්වයක් ලබා ඇති අතරම දරුවන්ගේ වීරයන්ද බවට පත්ව තිිබේ. ඊට හේතු වී ඇත්තේ ඔවුන් දරුවන් ඉදිරියේ පවසන ‘පොර ටෝක්’ නිසාය.

 පාසලේ ගුරුවරයාට ‘පොරටෝක්’ දෙන්නට වෙලාවක් නැත. එක් කාලපරිච්ෙඡ්දයක් විනාඩි 45කි. එම කාලය තුළ අදාළ විෂයය උගන්වනවා හැර වෙන දේවල් කතා කිරීමට වේලාවක් නැත.

 ටියුෂන් ගුරුවරයා එක් දිනකට පැය තුනක කාල පරිච්ෙඡ්දයක් ලබාගෙන දරුවන්ට ඉගැන්වීම් කරනු ලබයි. ඉන් පළමු පැය භාගය තමාගේ පංපෝරිය ගැසීමටය. ඉන්පසු තව පැය භාගයක් තමාගේ දේශපාලන දර්ශනය ගැන පවසයි. විෂයට අදාළ ඉගැන්වීම් කරන්නේ පැයකි. ඒ අතර ආකර්ශනීය නිබන්ධන කට්ටලයක්ද ලබා දෙයි.

 එය ටියුෂන් ගුරුවරයා සෑදු එකක් නිසා එහි ඇති ප‍්‍රශ්න විසඳීමත් ගුරුවරයා කජු කන්නා සේ සිදුකරයි. මෙය බලා සිටින දරුවන්ට ටියුෂන් ගුරුවරයා විශ්වකර්මයෙකි. ඒ නිසා අ. පො. ස. උසස් පෙළ ඉගෙනීමට සමත් වූ දා සිට පාසල් නොගොස් ටියුෂන් යෑමට වැඩි උනන්දුවක් දක්වති.

 උසස් පෙළ පාසල් අධ්‍යාපනය ආරම්භ වීමට මාස තුනකට පමණ පෙර සිට සහ දරුවාගේ සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල නිකුත් වූ දා සිිට ටියුෂන් ගුරුවරු පන්ති ආරම්භ කරති.

 මා මේ පැවසුවේ ටියුෂන් ගුරුවරුන්ගේ සාමාන්‍ය කි‍්‍රයාවලිය මිස ඔවුනට චෝදනාවක් නොවේ. අපට ටියුෂන් ගුරුවරුන්ට ඔවුන්ගේ ඉගැන්වීමේ ක‍්‍රමය ගැන හෝ ගාස්තු ගැන විවේචනය කළ නොහැකිය. මන්දයත් තවම අප රටේ ටියුෂන් අධ්‍යාපනය දරුවන්ට අනිවාර්ය කර නැත. ටියුෂන් වෙත යන්නේ දරුවන්ය. ඊට උනන්දු කරවන්නේ දෙමාපියන්ය. මා දන්නා තරමින් කිසිදු ටියුෂන් ගුරුවරයෙක් දරුවනි නුඹලා මාගේ ටියුෂන් පන්තියට අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි කියා දැන්වීම් පෝස්ටර් ගසන්නේ නැත.

 මම ඉගැන්වීමටම උපන්නෙමි. උසස් පෙළ විශිෂ්ටයින් බිහිකළ අසමසම ආචාර්ය, උසස් පෙළ නියත ජය ආදී ලෙසින් තමුන් පොරක් බව පෙන්වන්නට නිර්මාණය කළ වාක්‍ය ඇතුළත් දැන්වීම්, පෝස්ටර් පමණක් ප‍්‍රචාරය කරති.

 සමනල වර්ණ, ෆයිල් කවර සහ නිබන්ධන දරුවන්ට ලබාදෙති. අධ්‍යාපනය උඩුයටිකුරු කරමින් කෙටි සටහන්ද :ීයදරඑ භදඑැි* මුද්‍රණය කර ලබා දෙති. මා දන්නා තරමින් කෙටි සටහන් තබන්නේ එම විෂය පරිශීලනය කළ දරුවා පමණි. තමාගේ මතක වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම කෙටි සටහන් තබාගනී. එය පාඩම් කිරීමේ එක් ක‍්‍රමවේදයකි.

 නමුත් ටියුෂන් ගුරුවරු අමු අමුවේ කෙටි සටහන් මුද්‍රණය කර ලබාදෙන්නේ මෙම පාඩම් කිරීමේ සහ මතක ශක්තිිය වර්ධනය කරගැනීමේ කි‍්‍රයාවලියට සම්පූර්ණයෙන්ම පිටුපාමිනි.

 උපන්දා සිට දරුවාට විභාග භීතිකාවක් මවා ඇති නිසා දරුවන් අ. පො. ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගෙනුම ලබන්නේ මරණ දඩුවම් ලැබිමේ වැරදි කළවුන් ලෙසිනි.

 උසස් පෙළ හදාරන්නේ අලූගෝසුවා තම බෙල්ලට තොණ්ඩුව දමා එල්ලූම් ගස කි‍්‍රයාත්මක කිරීමට සැරසෙන මොහොත හා සමානවය.

 මෙලෙස දරුවන් තුළ විභාග කෙරෙහි බියක් ඇතිකර මුදල් ඉපයීමේ කලාවක වර්තමාන ටියුෂන් ගුරුවරු නිරතව සිටින බව ඇත්ත තිත්ත වුවත් කිව යුතුය.

 ටියුෂන් අධ්‍යාපනය මේ තරම් ජනපි‍්‍රය වී ඇත්තේ පාසල් අධ්‍යාපනය කඩාවැටී ඇති නිසා යැයි කරනු ලබන චෝදනාව මම එක හෙළා ප‍්‍රතික්ෂේප කරමි.

 පාසල් අධ්‍යාපනය සකස් වී ඇත්තේ පොතට පතට පමණක් නොව බාහිර කි‍්‍රයාකාරකම් වලටද දරුවා යොමු කරමින් පරිපූර්ණ දරුවකු සමාජයට දයාද කිරීමටය.

 පාසලේ පළමු වාරයේ වැඩි කාලයක් පාසල් කි‍්‍රඩා තරග සඳහා වෙන්කර දෙන්නේ එබැවිනි. රටට දක්ෂ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් බිහිවන්නේ පාසලෙන් මිස ටියුෂන් පන්තියෙන් නොවන බව දෙමාපියන් සිහිතබා ගත යුතුය. නමුත් අවාසනාව වී ඇත්තේ වර්තමානයේ බොහෝ දෙමාපියෝ තම දරුවන් පළමු පාසල් වාරයේ පාසලට යවන්න එතරම් උනන්දුවක් නොදක්වති. වැඩක් නැහැ ඉස්කෝලෙ යවලා. මේ දවස්වල උගන්වන්නෙ නැහැනෙ ස්පෝර්ට්මීට් කියා පවසති. නමුත් කි‍්‍රඩා තරග වලට සහභාගි කරවිය යුත්තේ තම දරුවන් නොවේදැයි කියා ඔවූහු නොසිතති. ඊට හේතු වී ඇත්තේ ඔවුන් තම දරුවන් පාසල් යවන්නේ විභාග වලින් සමත් කරවීමට මිස දරුවාගේ දක්ෂතා හඳුනා ගැනීමට නොවේ.

 කී‍්‍රඩා කරන්නේ ඉගෙනගන්න බැරි දරුවන් කියා හෝ කී‍්‍රඩා කළොත් අධ්‍යාපනය කඩාකප්පල් වේ යැයි කියා සිතන මෝඩ දෙමාපියන්්ට කිව යුත්තේ ඉන් ඔබ සිදුකරන්නේ දරුවාගේ අනාගතය අඳුරු කිරීම බවය. වර්තමානයේ පාසල් දරුවන්ගෙන් සියයට තිහකට දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇත. ඊට ප‍්‍රධාන හේතුව ශරීරය වෙහෙසවන කි‍්‍රයාකාරකම් වල නොයෙදීමය.

 පොතට පතට පමණක් සීමාවීම නිසා පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් අවිදුර දෘෂ්ටිකත්වයට (දුරනොපෙනීම) ගොදුරුව සිටිති.

 මේ සියල්ලටම හේතුව දෙමාපියන් තම දරුවන් පොතට පතට පමණක් සීමාකර විභාග භීතිකාවට හුරු කිරීමය. එහි තවත් භයානක ප‍්‍රතිඵලයක් වන්නේ විභාග අසමත් වූ විට මෙවැනි දරුවන් දිවි හානිකර ගැනීමය.

 ඊට හේතු වී ඇත්තේ පවතින විභාග භීතිකාව නිසා විෂාදය, මානසික අවපීඩනය සහ නොසන්සුන් බව වැනි මානසික රෝග වලට ගොදුරු වීමය.

 මෙලෙස රෝගීන් බවට පත්ව අධ්‍යාපනය ලබන දරුවන් පාසලින් පිටවන්නේ චැනල් කරන වෛද්‍යවරුන්ගෙන් ප‍්‍රතිකාර ලබන්නට සුදුසුකම් ලබාගෙනය.

 එවිට ටියුෂන් ගුරුවරුන් මෙන්ම චැනල් වෛද්‍යවරු ද තමා වෙතට පැමිණෙන රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ගාස්තු අයකරති.

 චැනල් වෛi සේවයත් ටියුෂන් හා සමානව සමාජයේ ජනපි‍්‍රයවී තිබීම නිසා එහිත් විශාල තර`ගයක් ඇත.

 ටියුෂන් පන්තියේ ළමුන් සියයකට වැඩි නම් ගුරුවරයා ජනපි‍්‍රය චරිතයක් වීම සහ එවැනි ගුරුවරුන් කෙරෙහි දරුවන් ආකර්ෂණය වීම හා සමානව චැනල් වෛiවරයාට රෝගීන් සියයකට වඩා වැඩිනම් ප‍්‍රතිකාර ලබා ගැනීමට වෙලාව වෙන්කර ගැනීම අපහසු නම් එම වෛද්‍යවරු ‘පොරක්’ ලෙස එහෙමත් නැත්තම් ‘වැඞ්ඩෙක්’ ලෙස සිතීමට අපි පුරුදුව සිිටිමු.

 එසේ නම් දැන් වරද කාගේද සහ කොතැනද කියා සිතනු මිස ටියුෂන් ගුරුවරුන්ට සහ චැනල් දොස්තරලාට චෝදනා කිරීමෙන් ඵලක් නැත.

 සිදුව ඇත්තේ විභාග භීතිකා ඇතිකර ටියුෂන් ගුරුවරු මුදල් උපයන අතර මරණ බිය ඇතිකර වෛද්‍යවරු මුදල් උපයති. මේ සිියලූ මරණවලට ගොදුරුව වර්තමානයේ දූදරුවෝ අනාගත සිහින මවති.

 තමුනට අහිමි වූ ලෝකය දරුවන්ගෙන් ලබා ගැනීමේ පරම පවිත‍්‍ර පටු චේතනාවෙන් දෙමවුපියෝ තම දරුවන් මරණ මංචකය වෙත කැඳවාගෙන යති.

 උපාලි ද සේරම්
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *