පාස්කු ප්‍රහාරය සම්බන්ධ තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 20, 2020

පාස්කු ප්‍රහාරය සම්බන්ධ තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ව්නතිව් පොලිස් මුරපොලේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර පැහැර ගනු ලැබූ ඔවුන්ට අයත් ගිනිඅවි දෙක, පාස්කු ප‍්‍රහායරට සම්බන්ධ සැකකරුවන් පිරිසකගෙන් කල ප‍්‍රශ්න කිරීම්වලදී නින්දවූර් සහ වනාතවිල්ලූ‍ව ලැක්ටෝස්වත්ත ප‍්‍රදේශවලින් සොයා ගැනුණු බව පාස්කු ප‍්‍රහාරය පිලිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සදහා වව්නතිව් පොලිස් ස්ථානයේ එවක වැඩබලන ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක කේ එම් ආරියසේන එම කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අනුවයි.

2018 වසරේ නොවැම්බර් 30 වනදා උදෑසන වව්නතිව් පොලිස් මුරපොල තුළ සේවය කළ නිලදාරීන් දෙදෙනෙකු ඝාතනය කර ඇති බවට තවත් පොලිස් නිලධාරියකුගෙන් තමන්ට තොරතුරු ලැබුනු බව කොමිසම හමුවේ සාක්ෂිකරු සදහන් කළා.

ඝාතනයට ලක්වූ අදාල නිලධාරීන් දෙදෙනා ඊට පෙර දින සවස 6 සිට පසු දින උදෑසන 6 දක්වා වව්නතිව් පොලිස් මුරපොලේ රාජකාරී සදහා අනුයුක්ත කර සිටි බවයි සාක්ෂිකරු සදහන් කළේ.

මෙම ඝාතන සිද්ධිය  දැනගත් පසු උදෑසන 6.10 ට පමණ තමන් එම ස්ථානයට පැමිණි බවත්, එහිදී එක් නිලධාරියෙකු මුරපොල ඉදිරිපිට වැටී සිටි බවත්, ඔහුගේ හිසට වෙඩි තබා දෙඅත් කොහු ලණුවකින් බැද තිබූ බවත් සාක්ෂිකරු සදහන් කළා.

අනෙක් නිලධාරියා මුරකුටිය තුළ තිබූ ඇඳක් මත පිහි ඇනුම් තුවාල සහිතව වැටී සිටි බවයි සාක්ෂිකරු සංවේදීව ප‍්‍රකාශ කළේ.

මියගොස් සිටි නිලධාරීන්ගේ රාජකාරි ගිනිඅවි දෙක එම ස්ථානයෙන් අතුරුදන්ව තිබූ බව ද ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් වීරසිංහයි.

ඔහු සදහන් කළේ් තමන් 2019 වසරේ අපේ‍්‍රල් 26 වන දින මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ලගේ උපදෙස් පරිදි කාත්තන්කුඩි පොලිස් ස්ථානයට ගොස් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු වන ‘‘මොහොමඞ් සරීෆ් ආදම් ලෙබ්බේ”‍ සිය භාරයට ගත් බවයි.

ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී කරුණු රැුසක් අනාවරණ කර ගත් අතර පසුව වව්නතිව් පොලිස් මුරපොළේදී ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට අයත් ගිනිඅවි 02 ඇතුළු තවත් අවි ආයුද රැසක් නින්දවූර් නිවසින් සහ ලැක්ටෝස්වත්තෙන් සොයා ගැනුණු බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා.

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නා. සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත ප‍්‍රකාශ කළේ තමන්, සහරාන් හෂීම් නමැත්තාව කිසිදිනෙක දැක නොමැති බව සහ ඔහු සමග කිසි දිනෙක කතාබහක් සිදුකර නොමැති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad