ධර්මයෙන් විමුක්තියට නොව කුඩුවලින් අවීචියට යන පාර කියු පාස්ටර්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 12, 2020

ධර්මයෙන් විමුක්තියට නොව කුඩුවලින් අවීචියට යන පාර කියු පාස්ටර්.


හෙරොයින් ග‍්‍රෑම් 35 ක් සමග මීගමුවේ පාතිමා වත්තේ පාස්ටර් කෙනෙකු අත්අඩංගුවට ගත් බව පසුගිය දිනවල මාධ්‍ය හරහා අපට අසන්නට ලැබුනි. එපමණක් නොව ඔහු මත්ලෝලීන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක උපදේශකයෙකු බවත් විවිධ දේවස්ථානවලට සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට ගොස් දේශන පවත්වන බවත් තවදුරටත් ප‍්‍රචාරය වුණි. පියතුමන්ලා, දේවගැතිවරුන්, බ‍්‍රදර්ලා, සිස්ටර්ලා, මදර්ලා සහ පාස්ටර්ලා වැනි කිතුනු දේව සේවකයන් මෙන්ම තොග සහ සිල්ලර මහ පරිමාණයෙන් සහ සුළු පරිමාණයෙන් හෙරොයින් ජාවාරම් කරන හාල්මැස්සන් මෙන්ම මෝරුන්ද රාශියක් ගැන දන්නා අපට මෙවැනි කුඩු ජාවාරම් කරන පාස්ටර් කෙනෙකු කිසිදා මුණ ගැසී නැති නිසා මේ කවුද මොනවද කරන්නේ කියා සෙවීමේ ආසාවක්ද පහළ වුනි.

කමල් සිල්වා නම් වූ එකී පුද්ගලයා වෙසෙන මීගමුවේ පාතිමා වත්තේ කීප දෙනෙකුත් මීගමුව ප‍්‍රදේශයේ ඇති මත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන කීපයක සේවය කරන වගකිවයුතු නිලධාරීන් දෙදෙනකුත් මට දුරකථනයෙන් සම්බන්ධ කරගන්නට හැකි වුණ අතර ඔවුන් සියල්ලන්ම කියා සිටියේ ඔහු හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට පත් වූ කතාව සත්‍යක් වුවත් එම තැනැත්තා කිසිම අන්දමකින් පාස්ටර් කෙනෙකුවත් දේවගැතිවරයෙක්වත් මත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක පූර්ණ කාලීන සේවකයෙකුවත් නොවන බවත්ය.

එහෙත් ඔහු කුමන හෝ අරමුණක් ඇතිව නොමග ගිය සහ හෙරොයින් වලට ඇබ්බැහි වුණු තරුණයන් රාශියක්ම ඒ අවට ඇති මත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට යොමු කර ඇති අතර ඔහු විසින් ප‍්‍රතිකාරය සඳහා යොමු කරන ලද අයගෙන් කීප දෙනෙක් මේ වන විට ඉතා හොඳින් යළි සමාජගතව ජයග‍්‍රාහී ජීවිත ගත කරන බවත් දැන ගන්නට ලැබුනි. ඇත්තටම මොහු හෙරොයින් ළඟ තබා ගෙන සිටියානම් ඔහු කළ ඒ හොඳ කිසිවක් අදාළ නැත. ලැබිය යුතු උපරිම දඬුවම ඔහුට ලබා දිය යුතුය.

පාතිමා පාරේ වෙසෙන මට හිතවත් බොහෝම විශ්වාසවන්ත තරුණයෙක් මට එම පුද්ගලයා ගැන විස්තර කළේ මෙසේය.

”ඔය හාදයාව මං පොඩි කාලේ ඉඳලම දන්නවා. මං දන්න විදියට කවදාවත් සිගරට් අරක්කු ටිකක් බීපු කෙනෙක් නම් නෙවේ. හැබැයි කාලෙකට ඉස්සෙල්ල ක‍්‍රිකට් මැච් වලට ඔට්ටු අල්ලල සල්ලි හම්බ කරල ගෙවල් දොරවල් හදාගත්තා. සමාජෙට කවදාවත් වරදක් කරපු කෙනෙක් නෙමේ. මටත් පුදුමයි මෙයා හෙරොයින් ජාවාරමට අත ගැහුව කීවම. මේක බොරුවට පටලපු නඩුවක් නෙමේ. ස්ථිරව මෙයා හෙරොයින් ජාවාරමට අත ගහල තියෙනව. හැබැයි ඒ බොහෝම මෑත කාලයේ. මගේ අදහස නම් වැඩිය දුර දිග යන්න ඉස්සෙල්ල මුලින්ම අහු වෙච්ච එක හොඳයි. මාධ්‍ය වලින් කිව්වට මෙයා පාස්ටර් කෙනෙක්වත් දේශකයෙක් වත් නෙමේ. ළඟ තියෙන පොඩි සභාවකට (පල්ලියකට) හේත්තු වෙලා ඒකේ දේව නමස්කාරය කලා.’’

පාස්ටර් කෙනෙක් නොව ඊට ඉහළ කෙනෙකු වුව කුඩු වික්කා කියා අසන්නට ලැබුණත් එය අපට මහත් අරුමයක් නොවේ. ඔවුන්ටද කුඩු විකිණිය හැකිය. මක්නිසාද ඔවුන්ද මනුෂ්‍යයන් නිසාය. මනුෂ්‍යයා පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීන වී ඇතැයි කිතුනුවන්ගේ ධර්ම වාක්‍ය පොත වන ශුද්ධ ලියවිල්ලේ පවසා ඇත. පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශය, රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව බන්ධනාගාරය වැනි වගකිය යුතු රාජ්‍ය ආයතනවල නිලධාරීන් හෙරොයින් ජාවාරම් කර අසුවන අප රටේ පාස්ටර් කෙනෙකු කුඩු විකුණා අසුවීම බොහෝම සරල සාමාන්‍ය දෙයකි.

නහයෙන් හුස්ම ගන්නා කිසිවෙකු විශ්වාස නොකරන ලෙස දෙවියන්වහන්සේ බයිබලයේ පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත. මෙකී කමල් සිල්වා හුස්ම ගත්තේ නහයෙනි. එම නිසා ඔහුවද අපට විශ්වාස කළ නොහැක.

කුඩු ජාවාරම් කරන පාස්ටර්ලා ගැන අපට මීට පෙර අසන්නට ලැබී නැතත් වසර තිස් පහකට ආසන්න කාලයක් මත් ලෝලීන් සහ ජාවාරම්කරුවන් සමග මුහුණට මුහුණලා කරන මගේ මත් නිවාරණ සහ පුනරුත්ථාපන සටනේදී කුඩු හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන පාස්ටර්ලා දේවගැතිවරු උපාසක මහත්තුරු චීවරධාරීන්, හින්දු පූජකවරුන් මව්ලවිවරුන් වැනි ආගමික කටයුතු වලට සම්බන්ධ අය නම් මට අනන්තවත් හමුවී ඇත. ඒ ඔවුන්ද මනුෂ්‍යයන් නිසා විය හැකි බව මම දනිමි. දැනටත් යම් යම් ආගමික නායකයන් යැයි කියා ගන්නා අය සමහර ආයතන තුළ පුනරුත්ථාපනය වන බව අපට වගකීමෙන් කිව හැකිය.

පාස්ටර්ලා ඇතුළු සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ පාපිෂ්ඨ ස්වභාවය ගැන දේවවචනය තව දුරටත් මෙසේ පවසයි.

”ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත. එක්කෙනෙක් වත් නැත, හැමදෙනාම මුළාව ගොස් සිටී. හැමදෙනාම එකසේ නොමග ගොස් සිටිති. යහපත කරන එක්කෙනෙක් වත් නැත. ඔවුන්ගේ උගුර විවර වුණු මිනී වළක් වැනිය. ඔවුහු සිය දිව වලින් මුසාවාද පවසති. ඔවුන්ගේ තොල් යට පොළොං විස ඇත. ඔවුන්ගේ මුඛය කටුක ශාපයෙන් පිරී ඇත. ඔවුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි. ඔවුන් යන යන තැන විනාශයත් කාලකණ්ණි කමත් ඇත. සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත. ඔවුන්ගේ ඇස් ඉදිරියේ දේව බිය නොමැත.’’

රෝම 3 : 11 සිට 18 දක්වා

කුඩු විකුණන පාස්ටර්ලා ගැන නොව කුඩු ගසා ජීවිත විනාශ කර ගෙන පසුව පුනරුත්ථාපනය වී ඉතා යහපත්ව සමාජයේ අන් අයට උපකාර කරමින් ජීවත් වන පාස්ටර්ලා කීප කෙනෙක් ගැනද මම දනිමි. ඔවුන්ට පාස්ටර් කියනවාට වඩා නිදහස් මිනිසුන් හෝ යළි උපන් මිනිසුන් කියා අමතනවාට මම කැමතිය. මක්නිසාද පාස්ටර් යන වචනය අද සමාජයේ පමණක් නොව ලොව පුරා ඉතා නරක ලෙස අපහරණය වෙමින් පවතින නිසාය.(most abused word)

පාස්ටර් කියා දෙයක් දේව ලියවිලි වල නැත. එය මනුෂ්‍යයා විසින් තමන්ගේ වාසියට හදා ගත් එකක් යැයි මා කීවොත් පාස්ටර්ලා මා සමග යළි උරණ නොවනු ඇතැයි සිතමි. පාස්ටර් කියන වචනයේ තේරුම හරක් එළුවන් බැටළුවන් වැනි සතුන්ට කෑම සඳහා තණකොල සපයන්නා හෙවත් සතුන් රැකබලා ගන්නා එෙ`ඞ්රා යැයි කීවාටද වැරදි නැත. වරක් මා මෙසේ කීම නිසා අප කිතුනු සමාජයේ බහුතරයක් මා සමග උරණ විය. සමහරු මට ඔවුන්ගේ පල්ලි වල දොර වැසීය. නමුත් කිව යුතු දේ කිය යුතුය.

යමෙක් තමා පාස්ටර් නොහොත් එෙ`ඞ්රෙක් කියා හඳුන්වා ගන්නවා නම් ඔහුට අනිවාර්යයෙන්ම රැකබලා ගැනීමට රැලක් හෝ පට්ටියක් තිබිය යුතුය. එම පට්ටිය නම් මනුෂ්‍යයන්ගෙන් සෑදුනු සභාවයි (Congregation) බැටළු රැලක් නැති මිනිසා එෙ`ඞ්රෙක් නොවන අතර මිනිසුන් කණ්ඩායමක් නැති පුද්ගලයා පාස්ටරයෙක්ද නොවේ.

සමහර කිතුනුවන් තමා පාස්ටර් කෙනෙකු යැයි කියාගන්නට මහත් රුචියක් දක්වයි. ඒ කතෝලික ඇංග්ලිකන් මෙතඩිස්ට් හෝ බැප්ටිස්ට් වැනි ක‍්‍රිස්තියානි නිකායන්ට අයත් දේවස්ථාන වල සාමාජිකයන් නොව නිදහස් ඉවැන්ජලිකල් සභා යැයි කියන නිදහස් දේව සභාවල සමහර පිරිස්ය. එම කුඩා දේව සභා නරක යැයි අපට විනිශ්චය කරන්නට හෝ ඇඟිලි දික්කරන්නට කිසිම අයිතියක් නැත. මනුෂ්‍යයන්ට මනුෂ්‍යයන් ලෙසින් ජීවත් වන්නට උපකාර කරන අධ්‍යාත්මිකව සහ භෞතිකව උපකාර සහ සහන සපයන බොහෝ ඉවැන්ජලිස්ක සභා අප රටේ දකින්නට ඇත. ඒවා අගය කල යුතුය.

මීගමුවේ පාතිමා වත්තේ හෙරොයින් තියාගෙන අසුවූ පුද්ගලයා ගැන මාධ්‍යයෙන් කළ ප‍්‍රචාර නිසා ඒ අවට ඇති මත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලටද යම් බලපෑමක් සිදුවී තිබේ. බොහෝ අය දැන් ඒවා දෙස බලන්නේද වපර ඇසිනි. එකී පුද්ගලයා පාස්ටර් කෙනෙකු යැයි කෙසේ ප‍්‍රකාශ වුණාද අපි නොදනිමු.. නමුත් ඔහු පාස්ටර් කෙනෙකුවත් මත් නිවාරණ උපදේශකයෙකුවක් නොවන බව නම් සක්සුදක් ලෙස දනිමු.

හෙරොයින් ජාවාරම් කරන පුද්ගලයා කවරෙක් වුවත් ඔහුට හෝ ඇයට තරාතිරම නොබලා දැඩි දඬුවම් ලබා දිය යුතුය. මක්නිසද කිතුනු ඇදහිල්ලට අනුව එමගින් ඔවුන් කරන්නේ කුඩා අය නොහොත් තරුණ තරුණියන් දෙවියන්ගෙන් වෙන් කර නපුරට පෙළඹවීමයි. බයිබලයේ ජේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කියා ඇති පරිදි එවන් අයගෙ බෙල්ලේ ඇඹරුම් ගලක් ගැට ගසා ඈත මුහුදට ගෙන ගොස් ගිල්වා මරා දැමිය යුතුය. එසේ කරන්නේ එවැනි පාපතරයන්ගේ මළමිණිය වත් දෑසට නොපෙනෙනු පිණිසය.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad