විවිධ මත වැඩක් නෑ, නීතීය අකුරටම ක්‍රියාත්මක කරනවා - ඇමති ජොන්ස්ටන්ගෙන් ශ්‍රීලනිපයට සැර පිළිතුරක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 27, 2021

විවිධ මත වැඩක් නෑ, නීතීය අකුරටම ක්‍රියාත්මක කරනවා - ඇමති ජොන්ස්ටන්ගෙන් ශ්‍රීලනිපයට සැර පිළිතුරක්

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ශ්ව පළ කරන විවිධ මතවලින් ඵලක් නොමැති බවත් ප්‍රහාරයට වගකිවයුතු සියල්ලන්ටම එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. 

"විවිධ මත වැඩක් නෑ. විවිධ මත ඕනෙ තරම් තියෙන්න පුළුවන්. මටත් තියෙනවා මතයවල්. ඒ අපේ මතයවල් වැඩක් නෑ. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. 

නීතිය ක්‍රියාත්මක කරන්න තමයි මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රාජ්‍ය බලය දුන්නෙ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරගත්තෙ ඒකටයි. ඒ නිසා අපට සම්පූර්ණ විශ්වාසය තියෙනවා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කෙරෙහි. අපට වෙන අය කියන ඒවා වැඩක් නෑ. නීතිය ක්‍රියාත්මක වෙනවා අකුරටම, ඒක ගැන කිසිම සැකයක් තියාගන්න එපා කවුරුත්. 

මේ හදන්නෙ දේශපාලනය කරන්න. බෝම්බ පිපිරෙනකොට ගෙවල් වලට වෙලා හැංගිලා හිටපු, තාත්තලා කියපුවාම මිනිස්සු මැරෙන්න ඇරලා බලාගෙන හිටපු ඉඩ ඇරපු අය, ඉළඟට මේ පාස්කු ප්‍රහාරය ඇතිවෙන්න ආරක්ෂාව ඉවත් කරලා ඉඩදුන්න ආණ්ඩුවක් තිබුණෙ එදා, නායකයො හිටියෙ එදා. ඒ නිසා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. නීතිය කාටත් පොදුයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ නායකත්වය හරහා. 

ඒ හින්දා අපට ප්‍රශ්න නෑ කවුද මොනවද කියන්නෙ කියලා, නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි. නීතිය ක්‍රියාත්මක වෙන තැන අපි නිවැරදිව එතැන හිටගන්නවා. කිසිසේත්ම නීතිය ක්‍රියාත්මක නොකරන්න යටි අරමුණු තියෙන කවුරුත් නෑ මෙතන. එහෙම තියන එක්කෙනෙක්ට අපි ඉඩක් තියන්නෙත් නෑ. ඒක අපි පැහැදිලිවම කියනවා. මේ ගහන්න හදන්නෙ මඩ. මේ මිනිස්සු මරාපු මිනිස්සු අද මිනිස්සු රකින්න ඉදිරිපත් වෙච්ච අයට මඩ ගහනවා. ඒක තමයි ඇත්ත තත්වෙ. කිසිකෙනෙක් මේකට ඉඩදෙන්නෙ නෑ. ඒක මං පැහැදිලිවම කියනවා ඉතාමත්ම වගකීමෙන්. බොර දියේ මාළු බාන්න හදන්නෙ මේගොල්ලො" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතරතුර මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. මාධ්‍යවේදියා එහිදී ප්‍රශ්න කළේ පාස්කු කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුවේම හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළකර ඇති මතය පිළිබඳවය. 


No comments:

Post a Comment

Post Bottom Ad