වාරකන් කතා පිළිගන්න බෑ... දැනට කැස්බෑවන් 176ක් ඩොල්ෆින් 20ක් තල්මසුන් 4ක් මැරිලා - නීතිපති අධිකරණයට කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, June 30, 2021

වාරකන් කතා පිළිගන්න බෑ... දැනට කැස්බෑවන් 176ක් ඩොල්ෆින් 20ක් තල්මසුන් 4ක් මැරිලා - නීතිපති අධිකරණයට කියයි

එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනකු තල්මසුන් 04 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපතිවරයා අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා එම දැනුම් දීම සිදුකළේය.

එම සත්ත්ව මරණ වාරකන් කාලය හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව පැවසූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම මරණ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය හේතුවෙන් සිදු වූ බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මඟින් ද නිර්දේශ කර ඇතැයි සඳහන් කළේය.

එම සත්ත්ව මරණවලට අදාළව දිවයින පුරා පිහිටි අධිකරණ 26ක විමර්ශන කටයුතු පැවැත්වෙන අතර එම සත්ත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad