ලොතරැයි දිනුම් ඇදීමේ දැවැන්ත වංචාවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 22, 2021

ලොතරැයි දිනුම් ඇදීමේ දැවැන්ත වංචාවක් !

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම් ඇදීම් රූපවාහිනී විකාශයට අදාළ පටිගත කිරීම් සිදුකිරීම සඳහා කරනු ලබන ගෙවීම් මගින් මූල්‍ය වංචාවක් සිදුවන බවට සැක මතු වී තිබේ. මේ වන විට අදාළ දිනුම් ඇදීම් විකාශය කරනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ය. ඊට අදාළ පටිගත කිරීම් සඳහා අවශ්‍ය කැමරා ඇතුළු සියලු උපකරණ මෙන්ම තාක්ෂණික දැනුම ද ස්වාධීන රූපවාහිනී වැඩසටහන් අංශය සතු වේ.

එසේ අවම වියදමකින් මේ පටිගත කිරීම් කළ හැකිව තිබියදී, එම එක් දිනුම් ඇදීමක් සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් 240,000 ක මුදලක් ගෙවනු ලබයි. සාමාන්‍යයෙන් දිනකට මෙවැනි පටිගත කිරීම් එකත් – තුනත් අතර සංඛ්‍යාවක් සිදු වේ.

මේ වන විට අදාළ පටිගත කිරීම් සැලසිනේ ආයතනය හරහා ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයට ලබා දී තිබේ. එම ආයතනයේ ද මීට අදාළ තාක්ෂණික පහසුකම් සියල්ල තිබෙන අතර, එහි තාක්ෂණ අංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ එක් පටිගත කිරීමක් සඳහා ඔවුන්ට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය වන බවයි. ස්වාධීන රූපවාහිනී සේවා වැඩසටහන් අංශයේදී එය සිදු කරන්නේ නම්, තවදුරටත් වියදම් අවම කරගත හැකි වනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එවැනි තත්ත්වයක් යටතේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මේ එක් පටිගත කිරීමක් සඳහා ගෙවනු ලබන රුපියල් 240,000ක මුදලින්, ඉතිරි රුපියල් 140,000කට ආසන්න මුදලට සිදුවන්නේ කුමක්ද යන්න සැකයට තුඩු දී ඇති කරුණකි. ජාතික ලොතරැයි මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ අනුව මෙම පටිගත කිරීම් සඳහා මාසිකව වෙන්කෙරෙන මුදලින් රුපියල් ලක්ෂ 50කට අධික මුදලකට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව විමර්ශනය කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට අදාළ ආයතන ප්‍රධානීන් සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර, තමන්ගේ නමින් සහ තනතුරු නාමයෙන් ප්‍රකාශයක් ලබාදිය නොහැකි බව පැවසූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ පවතින වසංගත තත්ත්වය සහ ස්වාධීන රූපවාහිනී සේවයේ කාර්‍යමණ්ඩල ගැටළු වැනි හේතු නිසා මේ පටිගත කිරීම් වෙනත් රජයේ ආයතනයක් මගින් සිදුකරන බවයි. ඊට අදාළ වියදම් සම්බන්ධයෙන් වන තාක්ෂණික දැනුම තමන්ට නොමැති නිසා, ඒ පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි බව ද ඔහු පැවසීය.

උපුටා ගැනීම : lankaweb


No comments:

Post a Comment

Post Bottom Ad