ලබන ජනවාරි වනවිට ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මියයාවි - ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු අඟවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

ලබන ජනවාරි වනවිට ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මියයාවි - ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වන කොවිඩ් මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වාර්තා වුවහොත් ලබන වසරේ ජනවාරි මාසය වනවිට කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මිය යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සකස් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි. මෙම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (12දා) භාරදී ඇත.

මෙම තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සඳහා නිර්දේශ රැසක්ද ඉදිරිපත් කර තිබේ. සංචරණ සීමා දැඩි කිරීම, පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් සංචරණ සීමා පැනවීම, සුළු කාලයකට හෝ ඇඳිරි නීතිය පැනවීම, සියලුම මහජන උත්සව සති තුනකට තහනම් කිරීම, මහජන ඒකරාශි වීම් වැළැක්වීම, සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කරගැනීම, ඵලදායී සන්නිවේදන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාව දැනුවත් කිරීම, ආසාදිතයන් හා මරණ නිවැරදිව ලබාදීම, වයස අවුරුදු 60 ඉක්මවූවන්ට කඩිනමින් එන්නත් ලබාදීම එම නිර්දේශ වෙයි.

මෙම වාර්තාව සකස් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා ශ්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයන් 30 දෙනකු සහභාගි වී තිබේ. පාලිත අබේකෝන්, නිහාල් අබේසිංහ, රජිව් ද සිල්වා, ලක්කුමාරි ප්‍රනාන්දු, පද්මා ගුණරත්න, ආනන්ද විජේවික්‍රම යන විශේෂඥ වෛද්‍යවරුන් ඊට ඇතුළත් වෙති. අසිත ද සිල්වා, රජිව් ද සිල්වා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනි මෙන්ඩිස්, මලීක් පීරිස්, මංජු වීරසිංහ යන මහාචාර්යවරුන්ද මෙම වාර්තාව සකස් කිරීමට එක්වී ඇත.

උදයජීව ඒකනායක


No comments:

Post a Comment

Post Bottom Ad