ධම්මික පැණිය ආණ්ඩුවෙන්ම තහනම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 10, 2021

ධම්මික පැණිය ආණ්ඩුවෙන්ම තහනම් කරයි

කොරෝනා වෛරසය මර්දනයට සුදුසු බවට පසුගිය කාලයේ විශාල වශයෙන් ප්‍රචාරය කරනු ලැබූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ පැණිය මින් ඉදිරියට නිෂ්පාදනය නොකරන ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යාංශයේ ලේකම් කුමාර වීරසේකර මහත්මිය පවසා තිබේ.

සායනික පරීක්ෂාවෙන් අසමත්වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

මෙම පැණිය ආහාර අතිරේකයක් ලෙස භාවිතයට ගැනීම සඳහා නිෂ්පාදනය කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව මින් පෙර අනුමැතිය ලබාදී තිබුණ ද එම කාලසීමාව මේ වන විට අවසන් වී තිබෙන බැවින් ආහාර අතිරේකයක් ලෙස ද භාවිත කිරීම හා නිෂ්පාදනය මින් ඉදිරියට තහනම් වෙයි.

මෙම පැණිය පානය කිරීමෙන් කොරෝනා සුවවන බවට කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා දිගින් දිගටම ප්‍රකාශ කළ අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ලබාදී තිබුණේ එය පානය කිරීමෙන් පසුව කවරදාක හෝ කොරෝනා නොවැළ‍ෙඳන බව පවසමිනි.

එය පානය කළ සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුටම පසුව කොවිඩ් ආසාදනය විය.

කෙසේවෙතත් මෙම පැණිය ප්‍රවර්ධනය වන ආකාරයට ආණ්ඩුවේ මැතිඇමතිවරු ද ප්‍රකාශ නිකුත් කර තිබූ අතර රාජ්‍ය මාධ්‍ය ද ඊට විශාල ප්‍රචාරයක් ලබාදුනි.

කෙසේ වෙතත් එය පානය කිරීම මගින් කොරෝනා සුව නොවන බවට තහවුරු වී ඇතැයි ඒ පිළිබඳ සොයාබැලූ විද්වත් කමිටුව සිය අවසන් වාර්තාවෙන් දක්වා ඇති අතර කොරෝනා වෛරසයට අදාළ කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් මෙම පැනය මඟින් අත්කර නොදෙන බවට ද එම කමිටු වාර්තාවේ සඳහන් වන බව පැවසේ.


No comments:

Post a Comment

Post Bottom Ad