රනිල් – ජනපති සාකච්ඡාවෙන් පසු මෛත්‍රී කැළඹෙයි… ස්වාධීන කණ්ඩායමෙන් අගමැති කමට නම් තුනක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 11, 2022

රනිල් – ජනපති සාකච්ඡාවෙන් පසු මෛත්‍රී කැළඹෙයි… ස්වාධීන කණ්ඩායමෙන් අගමැති කමට නම් තුනක්!

රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවති සාකච්ඡාව සැලවීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් අතරින් තුන් දෙනෙකුගේ නම් අගමැති ධුරය සඳහා යෝජනා කර යැවීමට මීට සුළු මොහොතකට පෙර මේ පක්ෂ ඒකාබද්ධව  පැවැත්වූ රැස්වීමක දී තීරණය කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේ දී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැති ධුරය භාර ගැනීම සම්බන්ධව කල් මැරීම සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ ස්ථාවරය වී ඇත්තේ  අගමැති ධුරය භාරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපති බලය  අහෝසි  කිරීම ඇතුළු 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය  ක්‍රියාවට නැන්වීම පිළිබඳව  තීරණ ගත යුතු බවය.

එහෙත් සජිත් ප්‍රේමදාස කොන්දේසි පනවමින් ගෙන යන වැඩපිළිවෙළ  සම්බන්ධව කිසිදු පැහැදීමක් නොමැති බවත් ඒ නිසා තම කණ්ඩායම  අගමැතී ධුරය සඳහා නම් තුනක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් එය අද රාත්‍රියේම ජනාධිපතිවරයා වෙත යොමු කරන බවත් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක්   ලංකාසරට පැවසීය

තම මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරු 53ක් නියෝජනය කරන බව පැවසූ එම මන්ත්‍රීවරයා මෙතෙක් සියලු දෙනාගේ සහයෝගය  සජිත් ප්‍රේමදාසට ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටියත් ඒ පිළිබඳව ඔහු නිශ්චිත තීරණයක නොසිට  කටයුතු කිරීම නිසා තවදුරටත් බලා සිටිය නොහැකි බව ඔහු පැවසීය.

අගමැති ධූරය සදහා මන්ත්‍රීවරුන් කවුරුන්දැයි ලංකාසර කළ විමසීමක දී එය ලිඛිතව දැනුම් දෙන තෙක් හෙළි කළ නොහැකි බව එම මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නව අගමැති ධුරය සඳහා යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විජයදාස රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, නිමල් සිරිපාල දසිල්වා යන අයගේ නම් බව ලංකාසරට වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad