ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී කරුණු කිහිපයක් ගැන ප්‍රවේශම් වන්න - ඉන්දීය ජාතිකයින්ට දැනුම් දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 25, 2022

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී කරුණු කිහිපයක් ගැන ප්‍රවේශම් වන්න - ඉන්දීය ජාතිකයින්ට දැනුම් දෙයි!

ශ්‍රී ලංකාව සිටින සිය ඉන්දීය පුරවැසියන්ට ප්‍රවේශම්ව කටයුතු කරන ලෙස දැනුවත් කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටිනවා. 
ශ්‍රී ලංකාව මේ වන මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය, මුදලේ අගය අවප්‍රමාණය වීම ඇතුළු කරුණු හේතුවෙන් ඉන්දීය ජාතිකයින්ට සිය මුදල් හුවමාරු කර ගැනීම සහ පවතින ඉන්ධන තත්ත්වය යන කරුණු ගැන ප්‍රවේශම්ව සිටින ලෙස දැනුවත් කර ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ප්‍රකාශ කර සිටියේ.

"අපි කාලයක් තිස්සේ මෙම ශ්‍රී ලංකාවේ ඇතිවන තත්ත්වයන් ගැන නිරීක්ෂණය කරමින් සිටිනවා. අපගේ තක්සේරුව අනුව ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන්නේ ඉන්දියාවෙන් බවයි." විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරය කියා සිටියා.

ශ්‍රී ලංකාවේ දැනට වෙසෙන හෝ එහි යෑමට සිටින සියලුම ඉන්දියානුවන්ට සාමාන්‍ය මග පෙන්වීමක් ලෙස අප මෙම දැනුවත් කිරීම සිදුකරනවා.

"අපගේ උත්සාහය ඉන්දියාවෙන් පිටත සිටින ඉන්දියානුවන් සම්බන්ධ කිසිදු අප්‍රසන්න සිදුවීමකට ඔවුන් මුහුණ දීම වැළැක්වීමයි. එබැවින් ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දියානුවන්ට දැනුවත් කරනවා පවතින තත්ත්වය ගැන සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කිරීමට උත්සහ ගන්න කියා. එමෙන්ම ශ්‍රී ලංකාවට යෑමට පෙර එහිදී මුදල් මාරුකර ගැනීමට ඇති හැකියාව සහ ඉන්ධන තත්ත්වය යන සියලු සාධක ගැන අවදානයෙන් පසුවන්න කියා." ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අදාළ බලධාරීන් සමග කටයුතු කරන බවයි  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ප්‍රකාශ කර සිටියේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රමාණයට ආර්ථික ආධාර ලබා දීමට ඉදිරිපත් වූ බවත් හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් දිගටම පෙනී සිටින බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad