‘වුහාන් මෙහෙයුම’ ශ්‍රී ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයක්… ඊට නායකත්වය දුන්නේ ජනපතියි.. දියුණු රටවලටද අප ආදර්ශයක් - වූහාන් 33 අමතමින් හමුදාපති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 14, 2020

‘වුහාන් මෙහෙයුම’ ශ්‍රී ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයක්… ඊට නායකත්වය දුන්නේ ජනපතියි.. දියුණු රටවලටද අප ආදර්ශයක් - වූහාන් 33 අමතමින් හමුදාපති කියයි

කොරෝනා වෛරසය පැතිර ගිය චීනයේ වුහාන් නගරයේ සිට සිය රට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා දෙමාපියන් වෙත භාරදීම වෙනුවෙන් හමුවක් 14 පස්වරුවේ යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.

සති දෙකකට පෙර වුහාන් සිට විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපළට පැමිණි සිසුහු විශේෂ බස් රථයකින් දියතලාව යුධ හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලැබූහ.  දින 14ක නිරෝධායන කාලය අවසන නිරෝගී බව තහවුරු වීමෙන් අනතුරුව ඕව්හු දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටත් වූහ.

සිසුන් ආරක්ෂාකාරීව සිය රටට ගෙන ආ මානුෂීය මෙහෙයුමට දායක වූවන් ඇගැයීම ද මෙම හමුවේ දී සිදු කෙරිණ. ජීවිත අවදානම නොතකා කැපවූ සියලුදෙනා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් යුද හමුදාපතිවරයාගේ ඇගයීමට ලක් විය.

ලෝකයේ දියුණු රටවලට ආදර්ශයක් වෙමින්  කළ  මෙහෙයුම ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයක්  බවත්,  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි නායකත්වය ඊට ඉවහල් වූ බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

ඊට දායක වූ සියලු ආයතන වෙත ද ස්තූතිය පුද කෙරිණි.

සිය අදහස් දැක්වූ සිසුන් කියා සිටියේ ආපදා අවස්ථාවේ දී තමන් තනි නොකර රටවැසියන් වෙනුවෙන් වගකීම් ඉටුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට  කෘතඥතාව පළ කරන බවයි.

රට වැසියන් වෙනුවෙන් නොබියව පෙනී සිටින එතුමාගේ වැඩපිළිවෙළ ලෝකයටම ආදර්ශයක් බවද ඕව්හු පෙන්වා දුන්හ.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආර්යසිංහ, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු, ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ, විදේශ අමාත්‍යාංශයේ සහ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා අධිකාරියේ නිලධාරිහු හා කාර්ය මණ්ඩල හමුවට එක්ව සිටියහ.

– media unit


No comments:

Post a Comment

Post Bottom Ad