මහජන බැංකුවේ සභාපතිට බරපතළ චෝදනාවක්: තනතුරෙන් ඉවත් කරන්නැයි අගමැතිගෙන් නියෝගයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 5, 2021

මහජන බැංකුවේ සභාපතිට බරපතළ චෝදනාවක්: තනතුරෙන් ඉවත් කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්

රපතළ මූල්‍ය චෝදනාවකට ලක්ව සිටින මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා එම තනතුරින් වහාම ඉවත් කරන ලෙසට අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙත විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බව දැනගන්නට තිබේ.

ඉකුත් කොරෝනා සමයේදී ව්‍යාපාරිකයන්ට රාජ්‍ය බැංකු මඟින් ලබාදුන් 4%ක සහන ණය පොලිය යටතේ මහජන බැංකු සභාපතිවරයා විසින් තමන් යටතේ ඇති පෞද්ගලික සමාගමක් වන BDO Partners විගණන සමාගම වෙත රුපියල් මිලියන 25ක ණයක් නිකුත් කර ඇති බවට චෝදනා එල්ලවී තිබීම මේ සඳහා හේතුවී තිබේ.

මෙම ණය මුදල නිකුත් කිරීමේදී මහජන බැංකුවේ සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය මුදලක් ලබාදීමේදී නිකුත් කර ඇති උපදෙස් හා නියෝගයන් මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් රජයේ හා පෞද්ගලික වාණිජ බැංකුවලට ලබාදී ඇති උපදෙස්වලට අනුව එවැනි බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු හෝ ඔහුගේ පවුලේ ඥාතියකුට හෝ හිතවතකුට සිය බැංකුවෙන් ණය මුදලක් ලබාගන්නේ නම් අනිවාර්යෙන්ම සුරැකුම් ඉදිරිපත් කළ යුතු වුවත් මෙම ණය මුදල ලබාදීමේදී එවැනි කිසිදු සුරැකුමක් ලබාගෙන නැති බව දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය දිනක අගමැති, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැමිණිලි ලැබී ඇති අතර, එහිදී අගමැතිවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසත්, එතෙක් මහජන බැංකු සභාපති ධුරයෙන් සුජීව රාජපක්ෂ මහතා ඉවත් කරන ලෙසත් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට නියෝග කොට ඇති බවද දැනගන්නට ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ප්‍රධාන විපක්ෂය වන සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහතා විසින් මහබැංකු අධිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද කටයුතු කොට තිබේ.

-mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad