නමට රට විරුවෝ - සෞදි ගෘහ සේවයේ සිටියදී මිය ගිය කතට කිසිදු වන්දියක් ගෙවා නෑ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 10, 2019

නමට රට විරුවෝ - සෞදි ගෘහ සේවයේ සිටියදී මිය ගිය කතට කිසිදු වන්දියක් ගෙවා නෑ..

මීට අවුරුදු දෙකකට ඉහතදී සවුදියේ රියාද් වලදී රිය අනතුරකින් මිය ගිය කාන්තාවකට ඒ වෙනුවෙන් ගෙවන කිසිදු වන්දි මුදලක් මේ වනතුරු ලැබී නැති බව මියගිය අයගේ ඥාතීන් කියති.
අහුන්ගල්ල, පතිරාජගම පදිංචිව සිටි දාපනාදුරගේ ලීලාවතී (58) නමැති කාන්තාව මෙසේ මිය ගොස් තිබේ.
ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ රක්ෂණය වී විදේශ රැකියාවට ගොස් ඇති අතර රක්ෂණ සමාගම විසින් ගෙවිය යුතු වන්දියද මෙතෙක් ගෙවා නැති බවත්, විදේශ කටයුතු අමාත්‍යංශය සහ විදේශ රැකියා නියුක්ති කාර්යංශය මේ සිද්ධිය සම්බන්ධයෙන් මුණිවත රකින බවත් මිගිය අයගේ දරුවන් සහ ස්වාමිපුරුෂයා චෝදනා කරති.

මේ පිළිබඳව අදහස් දැක් වූ මිය ගිය අයගේ පුතා වන කේ අසංග මැන්දිස් මහතා (34) මෙසේ කීය.

මම අහුන්ගල්ල, පතිරාජගම ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. 2014 සැප්තැම්බර් දහසය වැනි දින රජයේ ලියා පදිංචි ඒජන්සියකින් අම්මා රට ගියා. ඒ ගිහින් අවුරුදු දෙකයි මාස තුනක් රට හිටියා. 2017 ජූලි මාසේ දොළොස් වැනි දින සවුදියේ රියාද් වලදී රිය අනතුරකින් අම්මා මිය ගිය ගොස් තිබුණා. අම්මා වැඩ කළ ගෙදර මහත්තයාගේ ජීවිතය විතරයි, බේරුණේ. ඒ ගෙදර අනික් සියල්ලමයි, අපේ අම්මයි ඒ අනතුරින් මිය ගියා. අම්මගෙ මරණය ලංකාවට ගේන්නත් මාස එක හමාරක් පමණ ගියා. අම්මා රක්ෂණය වෙලයි රට ගියේ.

මේ මරණය පිළිබඳ සියලු ලිපි ගොනු සියල්ල අංක 1759 යටතේ ලියා පදිංචි වී තිබෙනවා. මම මේ සියලු ලිපි ගොනු අරගෙන රක්ෂණ සමාගමට ගියාම කිව්වේ අම්මා රක්ෂණය වෙලා තිබෙන්නේ අවුරුදු දෙකකට විතරයි කියල. අවුරුදු දෙකයි මාස තුනක් වී තිබෙන නිසා වන්දි දෙන්න බැහැ කියනවා. සවුදි රටෙත් මේ යන අය රක්ෂණය වීමක් වෙනවා. ඒ වන්දි මුදල් ගන්න මම විදේශ අමාත්‍යංශයට ගිය විටදී විදේශ වන්දි සම්බන්ධයෙන් කටයුතු කරන මහත්මියක් ලිපි ගොනුව සකස් කරල සෞදි අරාබියට යවා තිබෙනවා. ඒ පිළිබදවත් තවම කිසිම පිළිතුරක් නැහැ. මම විදේශ අමාත්‍යංශයට ගියාම තවම ඒ රටෙන් දැනුම් දුන්නෙ නැහැ කියල යන යන දවසට කියනවා.

රිය අනතුරෙන් පවුලේ සියලු දෙනා මිය ගිහින් මානසික අතින් කොතරම් දුර්වල වෙලා සිටියත් අම්මා වැඩ කළ ගෙදර මහත්තයා ලැබිය යුතුව තිබූ හිඟ වැටුප් සියල්ලම පවා ගෙව්වා. එහෙම තිබියදීත් රජයෙන් අපේ අම්මට ලැබිය යුතු වන්දි මුදල වත් තවම දුන්නේ නැහැ. කෙනෙක් රට යන විටදී විදේශ රැකියා කාර්යංශය ඇතුඵ ආයතන ගණනාවක ලියා පදිංචි වෙලා ගියත් මේ වගේ අනතුරක් වූ විට පිහිට වෙන්න කිසිම කෙනෙක් නැතැයි ද මිය ගිය අයගේ පුතා වන කේ අසංග මැන්දිස් මහතා (34) මෙසේ කීය.

– ජයකාන්ත ලියනගේ

No comments:

Post a Comment

Post Bottom Ad