සංගීතය, නැටුම් ඉස්ලාම් දහමට විරුද්දයි… ගුවන් විදුලියක ගීතයක් ඇසීමත් ඉස්ලාම් ඉගැන්වීමට පටහැනියි - අබ්දුල් රාසික් - විගස පුවත් - Vigasapuwath

Wednesday, December 16, 2020

සංගීතය, නැටුම් ඉස්ලාම් දහමට විරුද්දයි… ගුවන් විදුලියක ගීතයක් ඇසීමත් ඉස්ලාම් ඉගැන්වීමට පටහැනියි - අබ්දුල් රාසික්

මුස්ලිම්වරුන්ට ඉස්ලාම් දහම තුළ වෙනම නීති පැවතියද ඔවුන් පළමුව මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ රජයේ නීති වලට යටත් විය යුතු බව සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් පවයි. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පළමුවරට සාක්ෂි ලබාදෙමිනි.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවට නායකත්වය ලබාදුන් සහරාන් හෂීම් සමග පළමුව ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය පිහිටුවා අනතුරුව ඉන් ඉවත් වු වර්තමානයේ සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන අබ්දුල් රාසික් ඊයේ පළමුවරට ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණි.

2017 නොවැම්බර් 12 කාත්තන්කුඩිය හිස්බුල්ලා ශාලාවේ පැවති සම්මේලනය, “බෞද්ධ ආගමට මුල්තැනදීම නවත්වලා, ශ්‍රී ලංකාව සර්ව ආගමික රටක් කරන්න ඕනේ කියලා,” ප්‍රකාශයක් කළාදැයි සභාපති විනිසුරුවරයා මෙහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.

“නැහැ. ඔය කියන සම්මේලනය පැවැත්වුවේ කාත්තන්කුඩියේදි නොවේ. කොළඹ දී. එතනදි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ගැන කතා කළා. නමුත් ඔය කිව්වා වගේ දෙයක් ගැන කිව්වේ නැහැ. අපි සංවිධානයක් විදිහට බෞද්ධ ආගමට මුල්තැන දෙන්න ඕනේ කියන තැන එදා ඉඳලා ඉන්නවා,” යැයි අබ්දුල් රාසික් පිළිතුරු දුන්නේය.

මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඔබ සංගීතයට කැමතිදැයි විමසූ විට, “මම පෞද්ගලිකව කැමතියි. නමුත් ඉස්ලාම් ඉගැන්වීම් වලට අනුව එය පටහැනියි. අපි ගායනය කරනවා. නමුත් සංගීතය සහ නැටුම් පිළිගන්නේ නැහැ. ගුවන් විදුලියක යන සංගීතය සහිත සින්දුවක් අහන එකත් ඉස්ලාම් ඉගැන්වීම් වලට පටහැනියි,” යනුවෙන් රාසික් ප්‍රකාශ කළේය.

“හරි. දැන් ශ්‍රී ලංකාවේ ජාතික ගීය තියෙන්නේ සංගීතයත් එක්කනේ. ඒ කියන්නේ මෙරට ජීවත්වන ඉස්ලාම් භක්තිකයන් ජාතික ගීයට ගරු කළ යුතු නැද්ද ? ” යනුවෙන් නීතීඥවරයා එවිට විමසුවා.

” නැහැ. එහෙම නෙමෙයි. ජාතික ගීයට ගරු කළ යුතුයි. රජය නීතියක් පනවනවානම් ඉස්ලාම් ඉගැන්වීම් ඒ නීතියට යටත්. ශ්‍රී ලංකාවේ ජීවත් වන ඉස්ලාම් භක්තිකයෙක් පළමුවෙන් රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අවනත වෙන්න ඕනේ. ඊළගට රටේ පවතින නීතියට අවනත වෙන්න ඕනේ. ඊටත් පසුව තමයි සිවිල් කාරණා වලදි ආගමික නීතිය අදාළ වෙන්නේ. ” යැයි අබ්දුල් රාසික් කොමිසම හමුවේ පැහැදිලි කළ බව වාර්තා වේ.

– ada derana


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *