නිවෙස්තුල සිදුවන කොරෝනා මරණ සාමාන්‍ය මරණ ලෙස වාර්තා කරන්නැයි ඉහළින් බලපෑම් - ග්‍රාමසේවකලා රාජකාරිය අතහරින්න සූදානමි | COVID SRI LANKA - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 10, 2021

නිවෙස්තුල සිදුවන කොරෝනා මරණ සාමාන්‍ය මරණ ලෙස වාර්තා කරන්නැයි ඉහළින් බලපෑම් - ග්‍රාමසේවකලා රාජකාරිය අතහරින්න සූදානමි | COVID SRI LANKA

නිවෙස්තුල සිදුවන කොරෝනා මරණ සාමාන්‍ය මරණ ලෙස වාර්තා කරන්නැයි ඉහළින් බලපෑම්

නිවාසවල සිදුවන කොවිඩ් මරණ සාමාන්‍ය තත්ත්වයක් යටතේ සිදුවන මරණ ලෙස සලකා ක්‍රියා කරන ලෙසට ග්‍රාම නිලධාරීන් වෙත විවිධ තර්ජන හා බලපෑම් සිදු කරන බැවින් ඇතැම් ග්‍රාම නිලධාරීන් තමන්ට සිදුවන ආතතියෙන් මිදීමට නොහැකි බැවින් වෘත්තියෙන් ඉල්ලා අස් වීමට ද තීරණය කර ඇතැයි මීගමුව ග්‍රාම සේවා නිලධාරී සංගමය පවසයි.

තවදුරටත් අදහස් දැක්වූ සංගමයේ ලේකම්වරයා මෙසේ ද පැවසීය.

“මෙම බලපෑම් කිරීම අපරාධ නීතිය යටතේ වරදක්. මරණයක් පිළිබඳව ස්වාධීන තීරණ ගැනීම ග්‍රාම නිලධාරීන් සතු වුව ද එසේ බලපෑම් කිරීම තුළින් වෙන්නේ එම මරණය පිළිබඳ සැක මතු වීම වෙයි. එලෙස බලපෑම් කරන අය අතර වෛද්‍ය වෘත්තිකයන් සිටීම ඉතා ම කනගාටුදායක තත්ත්වයක්.”
නිවාසවල සිදුවන කොවිඩ් මරණ සාමාන්‍ය මරණ ලෙස සලකා ක්‍රියා කිරීම තුළින් කොවිඩ් මරණ සංඛ්‍යාවේ කැපීපෙනෙන අඩුවීමක් සිදු වුව ද එය මහා ජාතික අපරාධයක් බවත් ජාතික ව්‍යසනකාරී තත්ත්වයකට මග පාදා දීමක් වන බවත් ඒ මහතා පැවසීය.

මෙවැනි ආකාරයේ බලපෑම් විවිධ පාර්ශ්වයන් මගින් කිරීම තුළ කොරෝනා වසංගතය අවසන් වෙනවා වෙනුවට තව තවත් ව්‍යාප්ත වෙමින් මහ පරිමාණ වසංගතයක් දක්වා වර්ධනය වීම වැළැක්විය නොහැකි වන බව ද ඒ මහතා අවධාරණය කළේය.

ග්‍රාම නිලධාරීන් පෞද්ගලිකව සෑහීමකට පත් වීමෙන් පසු පමණක් මරණ වාර්තා නිකුත් කරන ලෙසට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චක්‍රලේඛ මගින් උපදෙස් දී ඇති බවත් ඒ අනුව කටයුතු කිරීමේදී ඒ පිළිබඳව තැකීමක් නොකර විවිධ ආකාරයේ බලපෑම් මගින් එය ලබා ගැනීමට තැත් කිරීම ඉතා භයානක තත්ත්වයක් බව ද ග්‍රාම නිලධාරි සංගමය කියයි.

උදාහරණයක් ලෙස පසුගිය හතර වන දා හුණුපිටිය ප්‍රදේශයේ සිදු වුණු මරණයක් පිළිබඳව ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිනිය වෙත ඔවුන්ට අවශ්‍ය ලෙස මරණ වාර්තාව ලබා දෙන ලෙස ඉල්ලා විවිධ පාර්ශ්වයන් බලපෑම් හා තර්ජන සිදු කර ඇත. එම මරණය සිදු වුණු නිවාසයට යාබදව කොරෝනා රෝගීන් වාර්තා වී තිබීම තුළ එම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිනිය එම මරණය පිළිබඳව වාර්තාව සාමාන්‍ය මරණයක් ලෙස නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. විවිධ බලපෑම් හා තර්ජන හමුවේ මානසික ආතතියකින් සිටි ඇය සෘජු තීරණයක් ගෙන අදාළ දේහය මුදාහැරීම ප්‍රතික්ෂේප කර තිබේ. පසුව එම මරණය පිළිබඳව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී මියගිය කාන්තාව කොරෝනා ආසාදිතයකු ලෙස වාර්තා වී ඇත.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන් ඉතා ම අපක්ෂපාතීව හා නිවැරදිව රාජකාරිය ඉටු කළ ද පවතින කොරෝනා අර්බුදය හමුවේ රාජකාරි කිරීමේදී ඇතිවන බලපෑම් මත විශාල ආතතියක් සහ කලකිරීමක් පවතින බැවින් මේ තත්ත්වය යටතේ ගෞරවනීය ලෙස රාජකාරිය කිරීමට නොහැකි බැවින් ඉදිරියට රාජකාරි කටයුතු කරන්නේ කෙසේදැයි එම ග්‍රාම නිලධාරීහු විශාල අර්බුදයක පැටලී සිටින බව ලේකම්වරයා පැවැසීය. මේ සම්බන්ධව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු යැයි මීගමුව ග්‍රාමසේවා නිලධාරි සංගමය වැඩිදුරටත් පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් කර ඇති අතර එහිදී ඒ මහතා සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් මෙතෙක් තමන් වෙත දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවත් හැකි ඉක්මනින් ඒ පිළිබඳව පළාත් අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දීමට කටයුතු කරන බවත්ය.

එමෙන් ම ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කරනු ලබන බව ද ඒ මහතා සඳහන් කර තිබේ.

mawratanews

No comments:

Post a Comment

Post Bottom Ad