මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ ම නිලධාරියෙකු සහ ඔහුගේ පුතු විසින් ඓතිහාසික, සංස්කෘතික සහ කෘෂිකාර්මික වශයෙන්ද අතිශය වැදගත් පාරිසරික සංවේදී භූමිභාගයක කරගෙන යනු ලබන හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමක තොරතුරු මාතලේ රත්කිඳ ප්‍රදේශයෙන් වාර්තා වේ.
ලෝක උරුම නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ ප්‍රදේශය හරහා මොරගහකන් ද ජලාශයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍ර දෙකෙන් එකක් වන තේලගමුව ඔය ගලා යන අතර දීර්ඝකාලීනව කෘෂිකාර්මික කටයුතුවලට ජලය සපයන කටුපොල්ලන්ද කටුකිතුලේ ඇළ පිහිටා තිබෙන බව ද ගම්වැසියෝ පවසති.
එසේ ම, ඔයට මීටර් 100ක් පමණ නුදුරින් හෝටලයේ ඉදිකිරීම් සිදුවන අතර එහි සිට සංචාරකයන්ට ඔයට යාමට ගල් ඇතිරූ පඩිපෙළ සහිත මාර්ගයක් ද සැකසෙමින් පවතින බව ත් ප්‍රදේශවාසීහු පවසා සිටී.
හෝටලයට යාම සඳහා මාර්ගය ඉදි කිරීමේදී ඔයේ ජල පෝෂක ප්‍රදේශයට ද හානි වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
එසේ ම, හෝටල් සංකීර්ණයට ළඟාවීම සඳහා අඩි 6ක් පළල, මීටර් 500ක දිගින් යුත් ප්‍රවේශ මාර්ගය නිම වෙමින් ඇත්තේ කටුකිතුලේ ඇළ හරහා බුලත්වැල්හේන මැදින් වන අතර මේ වනවිට එහි මීටර් 200ක පමණ කොටසක වැඩ අවසන්ව ඇති බව ත් ගම්වැසියෝ පැවසූහ.
මූලාශ්‍රය - මව්බිම

No comments:
Post a Comment