අගමැති අපේක්ෂකවරයායි කියලා අං තට්ටු පළඳවන ගමනකට මම සූදානම් නෑ - මාසයක් තුළ තීන්දු ඕනෑ - සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

අගමැති අපේක්ෂකවරයායි කියලා අං තට්ටු පළඳවන ගමනකට මම සූදානම් නෑ - මාසයක් තුළ තීන්දු ඕනෑ - සජිත්

කකුල් මාට්ටු, බාධක සමඟ මේ ගමන යාමට තමන් සූදානම් නොමැති බවත් එක්සත් ජාතික පාක්ෂිකයින්ට තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව එළඹ ඇති බවත් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) අත්තනගල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි. 

"තනතුරු බදාගෙන කැරකෝප්පුවට යන්න මට බලාපොරොත්තුවක් නෑ. මේ කකුල් මාට්ටු, බාධක එක්ක මේ ගමන යන්න අපි සූදානම් නෑ. දැන් කාලය එළඹිලා තියෙන්නෙ තමුන්නාන්සෙලාට පාක්ෂිකයො හැටියට තීන්දු තීරණ ගන්න. 

පක්ෂය ඉඩ දෙනවා නම් පුළුල් සන්ධානයක් ගොඩනඟලා මහමැතිවරණයට ජයග්‍රාහී ලෙස මුහුණ දෙන්න අපි ලෑස්තියි. හැබැයි ඒ සඳහා පක්ෂයේ අනුමැතිය, ආශිර්වාදය දෙන්නට ඕනෙ. කල් මරලා, කල් මරලා අන්තිම මොහොතට ගිහිල්ලා අගමැති අපේක්ෂකවරයායි කියලා අං තට්ටු පළඳවන ගමනකට මම සූදානම් නෑ. 

මේ මාසය තුළ ඒ සුදුසු නියමිත තීන්දු තීරණ ටික ගන්නට ඕනෙ. ඒක මට තනියම කරන්නට බෑ. මේවා ආසන මට්ටමේ සිටින පාක්ෂික පාක්ෂිකාවන් වන ඔබ තමුන්නාන්සෙලා ගත යුතු තීන්දු. ඔබතුමන්ලා තීන්දු අරගෙන දෙන්න, ඉතුරු හරිය අපි බලාගන්නම් කියලා මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. 

දැන් මට එක එක සාකච්ඡාවලට එන්නැයි කියනවා, මොනවද ඕනෙ කියලා අහනවා. මගෙන් නෙවෙයි මොනවද ඕනෙ කියලා අහන්න ඕනෙ. මේ ආසන මට්ටමේ සිටින තමුන්නාන්සෙලාගෙන්" යනුවෙනුයි ඒ මහතා එහිදී සඳහන් කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad