අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම හා රජය අපහසුතාවට පත් කළැයි යන චෝදනා මත අත්අඩංගුවට ගත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා නිලධාරිනිය ගානියා බැනිස්ටර් ෆ්‍රන්සිස් නමැත්තිය දෙසැම්බර් 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (16දා) නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින ගානියා බැනිස්ටර් ෆ්‍රන්සිස් නම් එම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ, ප්‍රධාන පොලිස් අධිකාරි ඉන්දික ලොකුගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේයෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජේයෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා හා රජයේ ජේයෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියෝය.
රජයේ ඡේ්‍යෂ්ඨ අධි. නීතිඥවරයා:- මෙම කාන්තාව පැහැරගැනීම සම්බන්ධව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දෙවන නිලධාරියකු වන රාහුල් ඉන්බැච් යන අය විසින් ලිඛිත පැමිණිල්ලක් කර තිබෙනවා. සම්පූර්ණ ලෙසට සිදුවූ සිද්ධිය වේලාවන් සමඟත් එම පැමිණිල්ලලේ සටහන් කර තිබෙනවා. මෙම වින්දිත තැනැත්තිය ලෙස හඳුන්වන ගානියා බැනිස්ටර් ෆ්‍රන්සිස්්් යන අය සෙන් බි්‍රජට් කන්‍යාරාමයේ පැවැති ගුරු දෙගුරු රැස්වීමකට සහභාගි වීමට ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවූ බවට එම පැමිණිල්ලේ සටහන් වී තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පාසලටද ගොස් විමර්ශන කටයුතු සිදුකර තිබෙනවා.
ම විමර්ශන අනුව සිද්ධිය සිදුවූවා යැයි කියන දා එනම් නොවැම්බර් 25 වන දින එම පාසලේ කිසිදු ගුරු දෙගුරු රැස්වීමක් තිබී නැති බවත් සඳහන් වෙනවා. අප පාසලේ ඇතුළේ හා පාසල අවට සී.සී.ටී.වී. දර්ශන ලබාගත්තා. එහිදී ඒ සම්බන්ධව කිසිදු කරුණක් සඳහන් වන්නේ නෑ.
පසුව පාසලෙන් ලබාගත් විස්තර අනුව මෙම තැනැත්තියගේ දුරකථන අංකය ලබාගෙන ඒ අනුව විමර්ශන කළා. අපට ඇය ගියා යැයි කියන උෟබර් වාහනයේ රියැදුරු සොයාගත හැකි වුණා.
එම රියැදුරු සොයාගෙන ඔහුගෙන් ඇය පිළිබඳව තොරතුරු විමසා සිටියා. ඇයගේ ඡායාරූපයක් පෙන්වූ පසු ඔහු ඇයව හඳුනාගත්තා.
එදින 25 වැනිදා සවස 3.36 පමණ එම කාන්තාව පැල්මයිරා නිවාස සංකීර්ණය අසලින් ඇරලවා ගිය බවට එම රියැදුරු ප්‍රකාශ කර සිටියා.
පසුව අප එම පැල්මයිරා නිවාස සංකීර්ණය අසල සීසීටීවී දර්ශන පරීක්ෂා කර බැලුවා. එම නිවෙසට ඇය ඇතුළුවන බවත් එම නිවෙසින් ඇය පිටවන බවත් එම CCTV දර්ශනවල පැහැදිලිව සටහන් වෙනවා. ඇය සවස 5.01ට පමණ තවත් කාන්තාවක් සමඟින් නිවෙසින් එළියට එනවා. ඒ එම නිවෙසේ කාන්තාව බවට අප හඳුනාගත්තා.
නොවැම්බර් 26 වැනිදා අප මෙම ගානියා බැනිස්ටර් ෆ්‍රන්සිස්් නම් කාන්තාව පදිංචිව සිටින නිවෙසට ගොස් බැලුවා. ඇය එම නිවෙසේ සිටියේ නෑ. නිවෙසේ මුරකරු පැවැසුවේ නෝනයි මහත්තයයි රට යනවා කියලා ඇඳුම් ටිකත් අරන් ගියා කියලා.
පසුව හොයලා බලනකොට මෙයාලා පවුල පිටින්ම ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවෙසේ කාමරයක ඉඳලා තමයි 12/08 වැනිදා අධිකරණ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙන්නේ.
ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ලබාදෙන ප්‍රකාශ අනුව මෙම පැහැරගැනීම සිදුවී තිබෙන්නේ දියණියගේ පාසල අසලදී නොව ඇයගේ මිතුරියගේ නිවෙස වන පැල්මයිරා කෝට් නිවාස සංකීර්ණයේදී බවය.
නමුත් එහිදී කරන ලද විමර්ශන අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහි අවටද සීසීටීවී දර්ශන ලබාගෙන විමර්ශන කළා. එහිදී එවැනි සිදුවීමක් සිදුවී ඇති බවට වාර්තා වන්නේ නෑ.
එමෙන්ම ගානියාගේ වෛද්‍ය වාර්තා අනුව ඇයට ශාරීරික හිංසනයක් සිදු වී නොමැති බවට වාර්තා වෙනවා.
ඇයගේ දුරකථන විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියද ඇය එය ලබාදීම ප්‍රතික්ෂේප කරනවා.
ඇය පවසන්නේ දුරකථනය තානාපති කාර්යාලයේ තිබෙන බවයි. මේ සියලු කරුණු අනුව වින්දිත යැයි සලකනු ලැබූ මෙම තැනැත්තිය සැකකාරියක ලෙස නම් කිරීමට නීතිපතිවරයා ක්‍රියා කර තිබෙනවා.
ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 හා 190 වගන්ති ප්‍රකාරව ගානියා බැනිස්ටර් ෆ්‍රන්සිස්් යන අයට එරෙහිව චෝදනා ගොනු කරනවා. මුලින්ම පැමිණිලිකාරියක ලෙස වින්දිතයකු ලෙස ආපු ඇය සැකකාරියක ලෙස පත්වන්නේ මේ අනුවය.
ඇයගේ දුරකථනය තානාපති කාර්යාලයේ තියෙනවා. ඇයගේ ස්වාමි පුරුෂයා ඉන්නේ තානාපති කාර්යාලයේ. අධිකරණ වෛද්‍යවරයා කියනවා ඇයගේ ශරීරයේ තුවාල නෑ කියා. මේ කතාව ඇය ගොතපු කතාවක්ද නැත්නම් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව අයෙක් ඉන්නවාද?
රටක ප්‍රතිරූපය එක්ක කාටවත් සෙල්ලම් කරන්න දෙන්න බෑ. ඇයට ඇප ලබා දුන්නොත් මෙම විමර්ශනවලට බාධා වෙනවා. ඒ නිසා ඇප ලබානොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. විදේශ ගමන් තහනම් කරන මෙන්ද ඉල්ලා සිටිනවා යැයිද හෙතෙම පැවැසීය.
සැකකාරිය වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
උපුල් කුමාරප්පෙරුම මහතා:- මෙම සිද්ධිය සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වුණා. පළමුව තානාපති කාර්යාලයේ ලබාදුන්නා කියූ තොරතුරු. දෙවැනුව මෙම කාන්තාව පසුගිය 08 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ලබාදුන් තොරතුරු.
ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීලා තියෙන ප්‍රකාශ අනුව ඇයට මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ පැල්මයිරා කෝට් මහල් නිවාසයේ සිටියදීය.
පැල්මයිරා කෝට්වල පදිංචි වී සිටින්නේ මෙම සැකකාරියගේ දියණියගේ මුල් ගුරුවරියක්. ඇය තමයි සැකකාරියට එම නිවෙසට එන්න කියා තියෙන්නේ.
මහෙස්ත්‍රාත්වරිය:- අධිකරණ වෛද්‍ය වාර්තාවේත් සඳහන් වෙන්නේ නෑ නේද ඇයට අපරාධයක් සිදුවූ බවට.
නීතිඥවරයා:- අධිකරණ වෛද්‍ය වාර්තාව දින 14කට පසුව ගන්නේ. නමුත් අපි පෞද්ගලිකව මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් ලබාගත් පෞද්ගලික වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවා ඇයට මෙලෙස හිංසනයක් සිදුවූ බවට.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවසන් දිනයේදී ඇය කලාන්ත වී ඇදවැටී තිබෙනවා. ඇය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා අංශයේ දෙවැනි නිලධාරිනියයි.
ඇය තානාපති කාර්යාලයට මේ සිදුවීම පිළිබඳව දැනුම්දී තිබෙනවා. ඇයට ලිංගික ප්‍රහාරය, අමානුෂික හිරිහැර කිරීම් පිළිබඳව සඳහන් කර තිබෙනවා. ඉතා බරපතළ ලිංගික අපයෝජනයකට ලක්වුණු බව ඇය කියනවා.
මහෙස්ත්‍රාත්වරිය:- සඳහන් කරන ආකාරයට ඇයට එවන් සිදුවීමක් සිදුවුණා නම් ඇය පොලිස් ස්ථානයට එම අවස්ථාවේදී නොගියේ ඇයි?
නීතිඥවරයා:- එම අවස්ථාවේදී ඇයට හිංසනය සිදුකළ පුද්ගලයන් තිදෙනා ඇයගේ දරුවන් ගැන පවසා බියවද්දා තිබෙනවා. ඇය බයවෙලා. ඇයට අවස්ථා 2ක් ලබාදීලා තිබෙනවා. එකක් මේ පිළිබඳව කාටත් නොකියා කට වහන් ඉන්න කියලා. දෙවැනි එක නැත්නම් සෙන් බි්‍රජට් කන්‍යාරාමය අසලදී පැහැරගැනීම සිදුවූ බවට ප්‍රකාශ කරන්න කියලා.
මහෙස්ත්‍රත්වරිය:- ඇය ප්‍රථමයෙන් දැනුම්දී තිබෙන්නේ කාටද?
නීතිඥවරයා:- ඇය ඇයගේ අංශ ප්‍රධානියාට ඒ බව දැනුම්දීලා.
මහෙස්ත්‍රාත්වරිය:- ප්‍රථමයෙන් ඇය තානාපති කාර්යාලයේ අංශ ප්‍රධානියාට දැනුම්දීලා තියෙන්නේ වැරැදි කතාවද?
නීතිඥවරයා:- ඇයට ප්‍රකාශ කරන්න කියා තර්ජනය කරලා කියපු දේ තමයි කියා තිබෙන්නේ.
නීතිඥවරයා:- විමර්ශන කරනවාට වැඩිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය මේ තැනැත්තිය වරදකරු කිරීමට.
පැල්මයිරා නිවාස සංකීර්ණයේ පිටත සිදුවූ දේවල් ඔප්පු වනවා. එහි ඇතුළත සිදුවූ දේවල් පිළිබඳව තමයි කිසිදු සාධකයක් නැත්තේ
ඇයට එහිදී බලහත්කාරකම් සිදු කර “තමුසේ මේක ගැන කාට හරි කිව්වොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනියනවා.” කියා තිබෙනවා.
මහෙස්ත්‍රාත්වරිය :- පැල්මයිරා නිවාස සංකීර්ණයේ ඇතුළට පැමිණි හා පිටවී ගිය පුද්ගලයන් පිළිබඳව දැනගැනීමට හැකිවුණාද?
මහෙස්ත්‍රාත්වරිය එම ප්‍රශ්නය රජයේ අධිනීතිඥවරයා වෙත යොමු කළේය.
රජයේ අ. නීතිඥවරයා :- විමර්ශනවලදී කිසිදු පිටස්තර පුද්ගලයන් පැමිණ හෝ ගිය බවට අනාවරණය වන්නේ නෑ.
මහෙස්ත්‍රාත්වරිය :- පළමු ප්‍රකාශය ඇය බැහැර කළා. මැය දෙවැනි ප්‍රකාශය ලබා දුන්නා. ඒ පිළිබඳවත් විස්තර අනාවරණය වන්නේ නෑ.
මහෙස්ත්‍රාත්වරිය :- ඇයි වැරදි ප්‍රකාශ කළේ. නිවැරදි තත්ත්වය ප්‍රකාශ කරලා ආරක්ෂාකාරීව ක්‍රියා කරන්න තිබුණා නේද?
නීතිඥවරයා :- ඇය බය වෙලා ස්වාමීනි
මහෙස්ත්‍රාත්වරිය :- ඇයට තමාට ආරක්ෂාව ලබා ගැනීමට අවස්ථාව තිබුණා. ඇය ප්‍රකාශ කර තිබුණේ නිවැරදි කරුණු නොවේ.
නීතිඥවරයා :- ඇය තානාපති කාර්යාලයට දැනුම්දීලා. තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දීලා. ඒ මඟින් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ.
ඇය කිසිදු අවස්ථාවකදී රජය හෝ රජයේ කිසිදු අංශයක් අපහසුතාවකට පත් කිරීමට කටයුතු කර නෑ. ඇයට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 හා 190 යටතේ චෝදනා ගොනු කිරීම වැරැදියි.
මීට පෙර අපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ සියලු වාර්තා ලැබුණ පසු තමයි වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන්නේ කියා.
නඩුව දැන් වැඩිදුර වාර්තා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 හා 190 යටතේ ඉදිරිපත් කර තිබෙනවා. විමර්ශන අවසන් නොවූ නඩුවක පැමිණිලිකාරිය විත්තිකාරියක් කර තිබෙනවා. ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දුන්නා කැමැත්තෙන්.
මහෙස්ත්‍රාත්වරිය :- ඇය ඇයගේ වුවමනාවට කැමැත්තෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගියේ නෑ ප්‍රකාශ ලබාදීමට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝග මත ඇයව ගෙන්වා ගත්තෙ. හරි වචන පාවිච්චි කරන්න.
නීතිඥවරයා :- අධිකරණ නියෝග ප්‍රකාරව ඇය පසුගිය 08 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමට ගියා.
ඇය කිසිම මොහොතක කිසිම චෝදනාවක් මෙරටේ පාලකයකුට හෝ රජයට කළේ නෑ.
ඇය දියණියන් තිදෙනකුගේ මවක්. ඇයට විමර්ශනවලට බාධා කිරීමට අවශ්‍යතාවක් නෑ. හැකියාවක් නෑ. ඒ අනුව ඇප පනතේ වගන්ති ප්‍රකාරව හා අනුරුද්ධ රත්වත්තේ නඩු තීන්දුවේ ප්‍රකාශ කර ඇති ආකාරයට සැලකිල්ලට ගනිමින් ඇයට ඇප ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.
සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා ඇප පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවාය.
මහෙස්ත්‍රාත්වරිය :- ගානියා බැනිස්ටර් ෆැන්සිස් නම් මෙම සැකකාර කාන්තාව නිවැරදි නොවන තොරතුරු ප්‍රකාශ ලබාදීම මත ඒ පිළිබඳව සංකීර්ණ තත්ත්වයක් අධිකරණයේ නිරීක්ෂණයට ලක් වෙනවා.
ඇය මෙම සිදුවීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත පමණයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබාදී තියෙන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු කරන ලද විමර්ශනවලට අනුව එම ස්ථානවල එවැනි සිදුවීමක් සිදුවී නැති බවට වාර්තා වෙලා තිබෙනවා.
අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේ කිසිදු විධියකට අතවරයට හා පහරදීමකට ලක්වී ඇති බවට වාර්තා වන්නේ නෑ.
පැමිණිල්ල වැඩිදුර කරුණු පදනම් කරමින් සැකකාරිය තවදුරටත් විමර්ශන සඳහා අවශ්‍ය බව ප්‍රකාශ කරනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ලබානොදී මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් මැය මැයගේ වුවමනාවකට මෙවැනි තොරතුරු ලබාදී තිබුණේද නැති නම් වෙනත් අයකුගේ වුවමනාවකට එලෙස කළේද යන්න පිළිබඳව විමර්ශනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
මෙම තැනැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීම මඟහැරීම, නියම තොරතුරු ලබා නොදීම හා ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා වේ යැයි යන කරුණු මත ඇප පනතේ 14 1 (අ) ඪඪ, 14(ආ) වගන්ති ප්‍රකාරව ඇප ප්‍රතික්ෂේප කරමි. සැකකාරිය ලබන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමි.
එසේම ඇයගේ විදේශගත වීම වළකාලන නියෝගයද නිකුත් කරමි. ඒ බව ආගමන විගමන පාලකවරයාට දන්වා යවමි.
අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද සැකකාරියගේ අධිකරණ මානසික වෛද්‍ය වාර්තාවට අනුව වැඩිදුර වෛද්‍ය වාර්තා ලබාගැනීමට ජාතික මානසික සෞඛ්‍ය මනෝවිද්‍යා ආයතනය වෙත යොමු කිරීමට අධිකරණ මානසික වෛද්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇති නිර්දේශයට අනුව වැඩිදුර වෛද්‍ය වාර්තා ලබාගැනීම සඳහා සැකකාරිය ජාතික මානසික සෞඛ්‍ය මනෝ විද්‍යා ආයතනය වෙත යොමු කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරමි.
මෙම නඩුව නැවත ලබන 30දා කැඳවමි.
හිතාමතාම ප්‍රබන්ධ කරන ලද අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම මඟින් සාපරාධී අපරාධ ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්යාල ශ්‍රී ලාංකික සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තිය වහා අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ (16දා) සවස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතවම නියෝගයක්ද කරනු ලැබීය.
නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය “මව්බිම”ට ප්‍රකාශ කර සිටියේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී-23023/01/19 නඩු වාර්තාව මඟින් ඉහත කී සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
ඉදිරියේදී (මාර්තු මාසයේදී) පැවැත්වීමට නියමිතව ඇති මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිව යම් යම් පියවරයන් ගැනීමට ඉවහල් කරගත හැකි වන සේත් පසු කලෙකදී ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිව අධිකරණ කටයුත්තකදී භාවිත කිරීමට ප්‍රයෝජනවත් වන සේත් හිතාමතා ගොතා ප්‍රබන්ධ කරන ලද (Fabricated) අසත්‍ය සිද්ධිමය ප්‍රකාශයක් සිදුකිරීම මඟින් ඇය දණ්ඩ නීති සංග්‍රහයේ 120 හා 190 වගන්තීන් යටතේ සැකකාරියක වශයෙන් නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද සියලුම විමර්ශනවලින්ද ඉදිරිපත්ව ඇති අධිකරණ වෛද්‍ය වාර්තා, මානසික වෛද්‍ය වාර්තා මෙන්ම සපයා ගනු ලැබ ඇති පරිවේශන සාක්කි මඟින් ද මනාව තහවුරු වී ඇති බවද නීතිපති ද ලිවේරා මහතා සිය නිගමනයේ සඳහන් කොට ඇත.
තවද 2019.12.14 දිනැති යොමු කරන ලද මූලික විමර්ශන උද්ධෘතයන් මෙන්ම මේතාක් විමර්ශනවලට අදාළ ප්‍රගතිය දැක්වෙන “බී” වාර්තාව සහ වැඩිදුර වාර්තා ද මේ වන විට සටහන් කරගෙන ඇති සාක්කිකරුවන්ගේ ප්‍රකාශ, සී.සී.ටී.වී. (CCTV) දර්ශන ඇතුළත් පටිගත කිරීම් (Footages) දුරකථන විශ්ලේෂණ වාර්තා ඇතුළු සියලුම අවස්ථානුගත කරුණු සහ සාක්කි මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂවරයාද ඇතුළුව මෙම විමර්ශනය සම්බන්ධ අනෙකුත් නිලධාරි සමඟ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වූ කරුණු මෙන්ම මේ වන විට ඉදිරිපත් වී ඇති අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ වාර්තා කෙරෙහි ද අවධානය යොමු කිරීමෙන් අනතුරුව ඉහත නිගමනයට එළැඹි බවද ඔහු ප්‍රකාශ කර සිටී.
තවද අපරාධ නඩු විභාග සංග්‍රහ පනතේ (Criminal Procedue Act) 32 (1) (අ) වගන්තිය ප්‍රකාරව වූ සාධාරණ සැකය (Reasonable SAuspicion) යන ප්‍රමිතිය ඉහත කී ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමැති සැකකාරිය සම්බන්ධයෙන් පැහැදිලිවම ගම්‍ය වන බවත් ඇය විසින් සාපරාධී අපරාධ ක්‍රියාවක් සිදුකර ඇති බවට සාධාරණ සැකයක් (Reasonable Suspicion) මෙතෙක් කරන ලද විමර්ශන අනුව අනාවරණය වන හෙයින් ඇය උක්ත නීති තර්කයට අදාළව සැකකාරියක් වශයෙන් නම් කොට ප්‍රකාශයක් සටහන් කරගෙන අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද එමඟින් ප්‍රකාශ විය.
හංසි නානායක්කාර, කමල් මහේන්ද්‍ර වීරරත්න
මව්බිම
Monday, December 16, 2019
Home
ප්රවෘත්ති
"හිංසනයක් සිදුවී නැහැ - අධිකරණ වෛද්‍ය වාර්තාව ; හිංසනයක් සිදුවෙලා - මහාචාර්ය රවින්ද්‍ර ගේ පෞද්ගලික වෛද්‍ය වාර්තාව" - ගානියාගේ වෛද්‍ය වාර්තා ගැන ගැටළුවක්
"හිංසනයක් සිදුවී නැහැ - අධිකරණ වෛද්‍ය වාර්තාව ; හිංසනයක් සිදුවෙලා - මහාචාර්ය රවින්ද්‍ර ගේ පෞද්ගලික වෛද්‍ය වාර්තාව" - ගානියාගේ වෛද්‍ය වාර්තා ගැන ගැටළුවක්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment