එංගලන්තයේ සිට මෙරටට එවා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 263න් 21ක් ආපසු හරවා යවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 28, 2020

එංගලන්තයේ සිට මෙරටට එවා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 263න් 21ක් ආපසු හරවා යවයි



ජාත්‍යන්තර නීති රීති උල්ලංඝණය කරමින් එංගලන්තයේ සිට මෙරටට එවා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 263න් බහාලුම් 21ක් එංගලන්තය බලා ප්‍රතිනැව්ගත කිරීමට පියවර ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි. මේ 

බහාලුම් 21ක කොළඹ වරායෙන් නැවත එංගලන්තය බලා හරවා යැවීමට Seamax Norwalk, (V/039R)නැවට පෙරේදා (26) සවස පැටවූ බව රේගු අධිකාරි ලාල් වීරකෝන් මහතා පැවසීය.


2017 වසරේ දෙසැම්බර් මස එංගලන්තයෙන් නීති විරෝධී ලෙස මෙම අපද්‍රව්‍ය බහාලුම් 263 ලංකාවට එවා තිබූ අතර එම සිද්ධිය රටේ විශාල ආන්දෝලනයකට ලක්විණි.


බහාලුම් 263න් බහාලුම් 243ක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු කටයුතු පවතින බවද ලාල් වීරකෝන් මහතා කීය.


මින් බහාලුම් 112ක් කොළඹ වරායේ ඇති බවත්, තවත් බහාලුම් 130ක් වාණිජ කේන්ද්‍ර යටතේ (Hub Operation) කටුනායක ආයෝජන කලාපයේ නිෂ්කාශනය කටයුතු සඳහා රඳවා ඇති බවත් ලාල් වීරසිංහ මහතා පැවසීය.


රේගු නීතිය උල්ලංඝනය කරමින් ගෙනැවිත් තිබූ මෙම අපද්‍රව්‍ය බහාලුම්වල නිවාසවලින් ඉවතලූ දෑ මෙන්ම නාගරික අපද්‍රව්‍ය ද තිබිණි. මේවා එංගලන්තයෙන් පිට කිරිමට පෙර ලංකාවෙන් අවසර ගත යුතුව තිබුණත් ඒ සඳහා අවසර ගෙන නොතිබූ බව ද ලාල් වීරකෝන් මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාව හා එංගලන්තය යන දෙරටම පාර්ශවකරුවන් වන ජාත්‍යන්තර සම්මුතියක් වන බාසල් සම්මුතිය යටතේ ද මෙවැනි ඒවා එවීමට පෙර රටින් පූර්ව අවසර ගැනීම කොන්දේසියක් වුවද මෙහිදී කොන්දේසිය කඩ වී ඇති බවද හෙතෙම පැවසීය.


අපද්‍රව්‍ය බහාලුම් ප්‍රතිනැව්ගත කිරීම සඳහා නීතිපතිවරයා, පරමාණුක බල ශක්ති අධිකාරිය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වරාය පර්යන්ත හා නැව් සමාගම්, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය විශාල මෙහෙවරක් කළ බවද ලාල් වීරකෝන් මහතා වැඩිදුරටිත් කීය. මේ ප්‍රතිනැව්ගත කිරීම මෙතෙක් දකුණු ආසියා කලාපයේ වූ මේ ආකාරයේ ප්‍රථම අවස්ථාව ලෙස ද සැලකේ. මේ කාර්යය සඳහා හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.එස්.එම්. චාල්ස්, වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත් රවිප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුළු රේගු නිලධාරිහු පිරිසක් සහභාගී වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad